විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ව්‍යාජ රුපියල් 5000යේ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් මහා පරිමාණ කූට ජාවාරමක නිරත වූ පුද්ගලයකු මොරටුව එගොඩඋයන මෝදර වටරවුමේදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි.
එම සැකකරු සමඟ එලෙස මුද්‍රණය කරන ලද ව්‍යාජ 5000යේ නෝට්ටු 2 ක්, ව්‍යාජ නෝට්ටු දෙපැත්තම මුද්‍රණය කරන ලද ඒ ෆෝ කොළ 2ක් හා එක් පැත්තක් පමණක් මුද්‍රණය කරන ලද ඒ ෆෝ කොළ 6ක්, ප්‍රින්ටරයක්, විවිධ වර්ණයෙන් යුත් තීන්ත අඩංගු ස්ෆේ කෑන් කිහිපයක්, බැංකු කාඩ් පත් 2ක්, කඩදාසි කැපීමට යොදාගන්නා කුඩා පිහි කිහිපයක් තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
එගොඩඋයන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු වාහන පරීක්ෂාවේ යෙදී සිටීය දී මීට පෙරද මේ ආකාරයේම වංචාවකට අත්අඩංගුවට ගත් මෙම සැකකරු අහම්බෙන් දුටු පොලිස් නිලධාරියෙක් ඔහුගේ මෝටර් රථය නවතා සිදු කළ පරීක්ෂාවේ දී ඔහු ඇඳ සිටි කලිසමේ දකුණු පස සාක්කුව පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු දෙක තිබී සොයා ගැනීමට හැකි වී ඇත.
අනතුරුව සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් පසු සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී වාද්දුව ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට තාහුරු වී ඇත. අනතුරුව එම නිවස වටලා සිදු කළ පරීක්ෂාවේදී සැකකරු විසින් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු සහ ඒවාට යොදාගත් උපකරණ රැසක් සොයාගැනීමට හැකි වී ඇත.
සැකකරු ඉකුත් පෙබරවාරි මාසයේද එගොඩඋයන පොලිසියටම ව්‍යාජ රුපියල් 5000යේ නෝට්ටු 40ක් සහ උපකරණ රැසක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින්නෙක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
සැකකරු වාද්දුව කුලී නිවසේ සිට මුද්‍රණය කරන ලද 5000යේ ව්‍යාජ නෝට්ටු සීදූව පිළියන්දල, මීගමුව හා නුවර ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙඳසල්වලට ලබා දී විවිධ භාණ්ඩ ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
49 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.