Home » EPF ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහි නඩු 15,000ක්

EPF ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහි නඩු 15,000ක්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළි වේ

by gayan
June 22, 2024 1:00 am 0 comment

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එසේම 2021 දෙසැම්බර් 31 වන විට නඩු 5,000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වී ඇති අතර, අදාළ ආයතන එම ලිපිනයන්හි මේ වන විට නැති වීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශගත වීම වැනි හේතු සාධක මේ සඳහා බලපා ඇති බව කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව සියලු දිස්ත්‍රික්වල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳ තොරතුරු සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා නියෝග කර ඇත. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ කරුණු අනාවරණය වී ඇත.

අර්ථසාධක අරමුදල් ගැනීමේදී අයදුම්කරුගේ තොරතුරුවල අඩුපාඩු සහිත වීමෙන් අයදුම්පත්‍ භාර දීම සඳහා අධික කාලයක් ගත වීම පිළිබඳවද අවධානය යොමු විය. අයදුම්පත්‍ භාර දීමට පැමිණීමට පෙර මහජනතාවට ඒ බව පරීක්ෂා කර බැලීම සඳහා ක්‍රමවේදයක් නැති වීම විශාල අඩුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.

2019 වසරේ කම්කරු පනතට සිදු කළ සංශෝධනයට අනුව සියලු කර්මාන්තශාලා කම්කරු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වුවද එය තවමත් නිසි ලෙස සිදු නොවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. කම්කරුවන් ඇතුළු කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ලියාපදිංචිය සිදු කළ යුතු වුවද එය නිසි ලෙස සිදු නොවන බව කාරක සභාවේදී සාකච්ඡා විය. පැවති කොවිඩ් තත්ත්වය, ආර්ථික අර්බුදය වැනි හේතු නිසා පමා වූ මේ කටයුතු කඩිනම් කරන බව නිලධාරීහු පිළිතුරු වශයෙන් පැවසූහ.

දැනට පවතින කර්මාන්තශාලා 32,000කට ආසන්න ප්‍රමාණයෙන් දැනට ලියාපදිංචි වී ඇත්තේ 4,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බැවින් ඒ කටයුතු කඩිනම් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දත්ත සපයාගැනීමට ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා වෙනත් නිලධාරීන් හෝ යොදවා වැඩපිළිවෙළක් සකස් කොට මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් දැනුම් දී ඇත.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT