Tuesday, May 13, 2025
Home » කර්මාන්ත ආයෝජන අවස්ථා රැසක් උදාකරමින් ” Industry EXPO 2024 ” තෙවැනි දිනටත් පැවැත්වෙයි

කර්මාන්ත ආයෝජන අවස්ථා රැසක් උදාකරමින් ” Industry EXPO 2024 ” තෙවැනි දිනටත් පැවැත්වෙයි

by yasara
June 22, 2024 8:40 am 0 comment

කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ තෙවැනි දිනය දෙස් විදෙස් ව්‍යවසායක , නිෂ්පාදන කර්මාන්ත ආයෝජන අවස්ථා රාශියක් උදාකරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) උදෑසන ආරම්භ විය.

දින පහක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන අද දිනයේ දේශීය මෙන්ම විදේශීය කර්මාන්තකරුවන්, ආයෝජකයින් හා ගැනුම්කරුවන් රාශියක් ප්‍රදර්ශණය සමඟ එක්ව සිටියහ. ආයෝජන හා ව්‍යාපාරික සාකච්ඡා, මෝස්තර හා විලාසිතා ප්‍රදර්ශණ, ව්‍යාපාරික සම්මන්ත්‍රණ, one stop shop වැනි අංග රාශියක් ඊයේ දිනයේද ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට එක්කර ඇත.

ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේ 2022 වසරේදී  ලංකාවේ ආර්ථික උද්ධමන වේගය 70% ලෙස පැවතියද වර්තමානය වන විට රට කිසියම් ස්ථාවරභාවයකට පැමිණ ඇතිබවත්, මෙම ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් රට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් මත ගමන් කළ යුතු බවයි.

මෙයට වසර දෙකකට පෙර තිබූ තත්ත්වය දෙස බලන විට රටක් ලෙස විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බවත් රටේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් විදේශ ආයෝජනය මෙන්ම විදේශ වෙළඳපලද අපට අත්‍යාවශ්‍ය වන බව අලි සබ්‍රි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

විශේෂ ආරාධිතයෙකු ලෙස ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, රටේ සියලුම නිෂ්පාදනවල ඉලක්කය තරගකාරී විදේශීය වෙළඳපළ විය යුතු අතරම නිෂ්පාදන කර්මාන්තවල අගය එකතු කිරීම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව පැවසීය.

එසේම සේවා අංශයද ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම රටේ ආර්ථික වර්ධනයට වැදගත් වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ තුන්වන දිනයේ  සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්, ආණ්ඩුකාරවරුන්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ,  කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT