ලෝක පරිසර දින ප්රයත්නයන් අතරේ ඉදිරියෙන්ම පියවර තබමින්, ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව සහ ඕමානය යන රටවල තමන්ට අයත් භූමි ප්‍රදේශයන්හි පැළ 2, 000ක් රෝපණය කිරීමට එයිට්කන් ස්පෙන්ස් ආයතනය පියවර ගෙන තිබේ. එමඟින් ලෝකයේ ස්ථිරසාර පරිසරයක් ඇති කිරීම සඳහා වන නොසැලෙන කැපවීම එයිට්කන් ස්පෙන්ස් ආයතනය නැවත වරක් තහවුරු කරයි.
මෙම අධිෂ්ඨානශීලී ආරම්භය, පාරිසරික සංරක්ෂණය සඳහා එයිට්කන් ස්පෙන්ස් සමාගමේ පවතින කැපවීම අවධාරණය කරන්නකි. එය, පාරිසරික වගකීම සම්බන්ධයෙන් ආයතනයක් සතු ගෝලීය වගකීම පෙන්වා දෙමින් ඒ සඳහා දායක වන ලෙස සෙස්සන්ට කරනු ලබන කැඳවීමක් ද වන්නේය.
හෙරිටන්ස් කණ්ඩලම, හෙරිටන්ස් අහුන්ගල්ල, හෙරිටන්ස් ටී ෆැක්ටරි, හෙරිටන්ස් ආයුර්වේද, සෙන්ටිඩෝ හෙරිටන්ස් මීගමුව, තුර්යා කළුතර, ඇමතීස්ට් රිසෝට් සහ අර්ල්ස් රිජන්සි ඇතුළු ශ්‍රී ලංකාවේ පිහිටි ‘එයිට්කන්ස් ස්පෙන්ස්’ ආයතනයට අයත් භූමි ප්‍රදේශයන්හි පැළ 1, 730ක් සිටුවනු ලැබේ. මේ මස අග දී පැවැත්වෙන 30 වැනි සංවත්සර සැමරුමට සමගාමීව, එයිට්කන් ස්පෙන්ස් හි ප්‍රමුඛතම තිරසර හෝටලය වන ‘හෙරිටන්ස් කණ්ඩලමට’ අයත් අක්කර 211ක සංරක්ෂිත භූමියේ පවතින පුළුල් ජෛව විවිධත්වය තවදුරටත් ව්‍යාප්ත කරමින් අලුතෙන් පැළ 780ක් සිටුවීමට නියමිතය.
මාලදිවයිනේ පිහිටි හෙරිටන්ස් ආරා, අදාරන් ප්‍රෙස්ටීජ් වදූ, අදාරන් සිලෙක්ට් මීධුප්පාරු, අදාරන් සිලෙක්ට් හුධුරාන් ෆුෂී සහ අදාරන් ක්ලබ් රනාලි නිවාඩු නිකේතනයන්හි ගස් 135ක් සිටුවනු ලැබේ. ඊට අමතරව ලෝක පරිසර දිනයේ දී කොරල්පර සුරැකීම වෙනුවෙන් ගත යුතු පියවරක් වශයෙන් අදාරන් සිලෙක්ට් හුදුරාන් ෆුෂී නිවාඩු නිකේතනය විසින් කොරල්පර 400ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් ඉදිරිපත් වී තිබේ.