පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය ඉකුත් (16) දිනය යෙදී තිබිණි.
විදේශයන්හි සේවය කරන සංක්‍රමණිකයින් විසින් සිය මව්බිමට, ඔවුන්ගේ පවුල්වලට එවන මුදල් හුවමාරු වන ප්‍රේෂණ, බොහෝ විට දායකවන්නේ ඒවා ලබන අයගේ ජීවිත වැඩිදියුණු කිරීමට පමණක් නොවේ. රටේ ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික අවශ්‍යතා සඳහා මෙන්ම රටේ ජාතික ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමට එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ශ්‍රී ලංකා රජය ප්‍රේෂණවල වැදගත්කම හඳුනාගෙන ඇති අතර ඒවායේ ගලා ඒම පහසු කිරීමට සහ ඒවායේ සංවර්ධන බලපෑම උපරිම කිරීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම ප්‍රතිපත්තිවලට ප්‍රේෂණ මාරු කිරීමේ පිරිවැය අඩු කිරීම, මූල්‍ය ප්‍රවේශය සහ ඇතුළත් කිරීම් වැඩිදියුණු කිරීම සහ ප්‍රේෂණ අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය දැක්වීම් ඇතුළත්ය.
ලාංකේය සංදර්භය තුළ සංක්‍රමණික ශ්‍රමිකයින් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අදාළ කරගනිමින් විටෙන් විට ඔසවා තබනු දකින්නට ලැබුණද, ඔවුන්ගෙ අයිතිවාසිකම් නිසි ලෙස තහවුරු කිරීමට පියවර ගැනීමක් දකින්නට නොලැබීම කනගාටුවට කරුණකි. නිදසුනක් ලෙස යම් යම් අවස්ථාවන්වල මව් රටට එවනු ලබන ප්‍රේෂණවල වටිනාකම්වලට සමපාතව යම් යම් වරප්‍රසාද ලබාදීමට පාලකයින් විසින් විවධ උත්සාහ ගනු ලැබුවත්, ඒවා හුදෙක් සංක්‍රමණිකයින්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල ඉල්ලීම් හෝ සැබෑ අවශ්‍යතාවන් මත එතරම් පදනම් වූ ක්‍රියාමාර්ග නොවේ. මේ අයුරින් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන්, ඔවුන්ගේ පවුල් ප්‍රේෂණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට පවා ඔවුන්ගේ දායකත්වයක් ලබා ගැනීමට, අදාළ තීන්දු තීරණ ගැනීමේ බල අධිකාරිත්වය තුළ ඔවුන්ට නියෝජනයක් ලබාදී ඇති බවක් තවම පෙනෙන්නට නැත.
ඒ පිළිබඳව සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ (VOM) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා හර්ෂණී රාජපක්ෂ මෙසේ පවසයි.
“ඇතැම් ශිෂ්ට රටවල සංක්‍රමණික ශ්‍රමිකයින්ට තම මව්රටේ ජාතික මට්ටමේ මැතිවරණවලදී ස්වකීය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙනු ඇතත්, එකී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා ලාංකේය සංක්‍රමණිකයින්ට ලැබෙන්නේ නෑ. මෙරට එච්.අයි.වී. ආසාදිතයින්ට රැකියා සඳහා සංක්‍රමණය වීමට අයිතියක් නෑ. එහෙත් වෙනත් ශිෂ්ට රටවල එච්.අයි.වී. ආසාදිතයින් බලාගැනීම, ඔවුන්ට සාත්තු සප්පායම් කිරීම ආදිය වෙනුවෙන් ගෘහාශ්‍රිත රැකියා බිහි කිරීමටත්, ඒ සඳහා එච්.අයි.වී. ආසාදිත සංක්‍රමණිකයින්ට ඉඩ ප්‍රස්ථාව ලබාදීමටත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ලාංකේය සංදර්භය තුළ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැඩපිළිවෙළක් තබා රට තුළ ඒ සඳහා වන කතිකාවක් වත් දකින්නට ලැබෙන්නේ නෑ. පුහුණු හෝ අර්ධ පුහුණු රැකියා සඳහා මෙරටින් විදෙස්ගත වුවද, එකී පිරිස් පෙරළා යටි මෙරටට පැමිණි පසු ඔවුන් එකී රටවල සේවයට එක්වීම තුළින් ලැබූ අත්දැකීම්, ඇතැම්විට විශේෂඥ පුහුණුව, දැනුම හා අවබෝධය මෙරට සංවර්ධනය සඳහා දායක කර ගැනීමට පවා වැඩපිළිවෙළක් නෑ. එහෙව් පසුබිමක පවුල් ප්‍රේෂණ පිළිබඳ අගය කිරීමෙන් ඔබ්බට ඒවා විනිවිදභාවයෙන් යුතුව රටේ දියුණුවට වඩා ඵලදායි ලෙස යොදා ගැනීමට වැඩපිළිවෙළක් වහාම සකස් විය යුතුයි“ ඇය පෙන්වාදෙයි.
මෙවර ජාත්‍යන්තර පවුල් ප්‍රේෂණ දිනයේදී අප අදිටන් කරගත යුත්තේ ඒ වෙනුවෙන් කැපවෙන වැඩපිළිවෙළකටය.
එම්.ඒ.පී.ආර්. විජේබණ්ඩාර