Friday, May 16, 2025
Home » තායිවාන ජනපති ඝාතන සැලසුමක් හෙළි වෙයි

තායිවාන ජනපති ඝාතන සැලසුමක් හෙළි වෙයි

by gayan
June 22, 2024 1:00 am 0 comment

තායිවානයේ ජනාධිපතිවරයා ඝාතන සැලසුමක් ඇතැයි ජපානයේ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් හිරෝටකා යමෂිටා ප්‍රකාශ කර ඇතැයි සිංගප්පූරුව කේන්ද්‍ර කර ගත් සීඑන්ඒ පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු සඳහන් කර ඇත්තේ තායිවානයට චීන ආක්‍රමණයක් සිදුවීමට පෙර ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයන් ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු විය හැකි බවට අනුමාන කළ බවය.

චීන ආක්‍රමණ උපාය මාර්ග පිළිබඳ පොතක් ලියා පළ කර ඇති හිටපු ලුතිනන් ජෙනරාල්වරයා එම පොතෙහි චීන අනුවාදයක් එළිදැක්වීම සඳහා පසුගියදා තායිවානයේ තායිපේ අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. තායිවානයේ සිදුවිය හැකි බවට ජපාන ලුතිනන් ජෙනරාල්වරයා අනුමාන කර ඇති ත්‍රස්ත ක්‍රියාකාරකම්වලදී තායිපේ නුවර ප්‍රධානතම දුම්රිය ස්ථානවල බෝම්බ පිපිරවීම් වැනි සිදුවීම් ද ඇතැයි වාර්තා වේ. මීට පෙර ජපානයේ අභ්‍යන්තර ආරක්ෂක බළකායේ උපමාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති හිරෝටකා යමෂිටා තායිවානයේ එවැනි ප්‍රහාර එල්ල කළ හැකි පුද්ගල වර්ග තුනක් ද ඔහු හෙළි කර ඇතැයි වාර්තා වේ. චීනය සමඟ දේශපාලනිකව පෙළ ගැසී සිටින මිනිසුන්, කුලී හේවායන් සහ තායිවාන ජාතිකයන් සමඟ එක්ව රහසිගතව ඔත්තු බැලීමේ නිරතවන චීන ජාතිකයන් එම පුද්ගල වර්ග 3 බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT