Home » ශ්‍රී ලංකා-චීන 13 වැනි රාජ්‍ය තාන්ත්‍රික උපදේශන වටය බීජිං නුවරදී සාර්ථක නිම වේ

ශ්‍රී ලංකා-චීන 13 වැනි රාජ්‍ය තාන්ත්‍රික උපදේශන වටය බීජිං නුවරදී සාර්ථක නිම වේ

by gayan
June 22, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවති 13 වැනි රාජ්‍ය තාන්ත්‍රික උපදේශන වටය චීනයේ බීජිං නුවරදී සාර්ථකව අවසන් කර තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප ඇමැති සන් වෙඩොන්ග් මහතා විසින් මේ උපදේශන වටය මෙහෙයවා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙපාර්ශ්වය මෑත කාලීන ඉහළ මට්ටමේ සංචාර, ආර්ථික හා වෙළෙඳ ගනුදෙනු වැඩිදියුණු කිරීම්, ණය ප්‍රතිව්‍යූහගතකරණය, ජනතාව අතර හුවමාරු කිරීම්, සංචාරක ව්‍යාපාරය මෙන්ම බහුපාර්ශ්වික වේදිකාවල මෑත කාලීන වර්ධනයන් ඇතුළු පුළුල් පරාසයක ද්විපාර්ශ්වික සහයෝගිතාව මෙහිදී සමාලෝචනය කර තිබේ.

අභියෝගාත්මක කාලවලදී චීනය ශ්‍රී ලංකාවට දක්වන සහය ශ්‍රී ලංකා විදේශ ලේකම්වරියගේ ඇගයීමට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා දී ඇති ප්‍රමුඛතාවේ සන්දර්භය තුළ, හරිත මූලාරම්භයන්, කෘෂිකාර්මික නවීකරණය, පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ආයෝජන සඳහා තවදුරටත් සහයෝගීතාවය සඳහා පවතින අවස්ථාද හඳුනාගෙන ඇත. ඊට අමතරව වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙන අතර, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රගතිය චීන උප ඇමැතිවරයා විසින් දිරිමත් කර තිබේ. අපනයන වෙළෙඳපොළ, ආයෝජන සහ ජනතා කේන්ද්‍රීය තිරසර වර්ධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා චීනයේ වර්ධනය වන ආර්ථිකයේ වත්මන් සහ අනාගත විභවයන්ද ඉස්මතු කර තිබේ.

දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කර තිබෙන අතර ස්වෛරී සමානාත්මතාව සහ සාමකාමි සහජීවනය මත පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ඔවුන්ගේ කැප වීම යළිත් තහවුරු කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT