යුද්ධයෙන් අවතැන් ජනතාවගේ නිවාස අවශ්‍යතාවෙන් 89%ක් 2023 වසර අවසානයේදී සපුරා තිබෙන බවත්, 2028 මාර්තු 23 වන දිනට පෙර බිම්බෝම්බ වලින් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ 2022 වසරේ සිට මේ දක්වා කාර්යසාධනය හා වර්තමාන ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වූ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්:
“නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යුද්ධයෙන් අවතැන් වූවන්ට 2009 වසරේ සිට 2023 අවසන් වන තුරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවාස 151,662ක් ඉදි කර තිබෙනවා. අවතැන් වූ පවුල් සඳහා රාජ්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගෙන නිවාස ඉදිකිරීම ආරම්භ කෙරණේ 2015 වසරෙන් පසුවයි. දේශීය අරමුදල්වලට අමතරව ඉන්දීය ආධාර, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇතිව මේ නිවාස ඉදි කරනු ලැබුවා. යුද්ධයෙන් අවතැන් වූවන්ට නිවාස අවශ්‍යතාවයෙන් 89%ක් ඒ අනුව සම්පූර්ණ කර තිබෙනවා. තවදුරටත් තාවකාලික නිවාසවල පදිංචි මුල් පවුල් සඳහා ඉදි කළ යුතු බවට හඳුනාගෙන ඇති නිවාස සංඛ්‍යාව 18,613ක්.
“නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙළ අනුව මේ දක්වා පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව 275,127ක් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත පදිංචි කිරීම සහ නැවත පදිංචි කිරීම කඩිනම් කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා. මේ ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මේ වසරේදී අවතැන් වූ පවුල් සඳහා පිරිසුදු පානීය ජලය හා ගෘහස්ථ විදුලිය සම්බන්ධතා සැපයීමද සිදු කෙරෙනවා. විශේෂයෙන් උතුරු හා නැඟෙනහිර පළාත්වල තිබෙන වකුගඩු රෝගි තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැනෝ ජල පිරිපහදු ඒකක 50ක් ඉදිකරමින් පවතිනවා.
“එසේම මෙරට බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ වගකීම දරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයයි. 2028 මාර්තු 23 දින වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව මේ වන විට උතුරු නැගෙනහිර ව.කි.මී. 131,969ක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර, තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ ව.කි.මී. 25.09ක පමණයි. ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා.
“මීට අමතරව අප අමාත්‍යාංශය යටතේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. බස්නාහිර ප්‍රදේශ මහා නගර ප්‍රධාන සැලැස්ම, නැඟෙනහිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම, හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම හා ප්‍රධාන සංවර්ධන සැලැස්ම සකස් කිරීම, තිරසර සංචාරක සංවර්ධන නාගරික සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීමේ ව්‍යාපෘතිය හා අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආදි ව්‍යාපෘති ඒ අතර වනවා. තවද කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මකයි. මේ අතුරින් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා මේ වසරේද රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා. එමඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 97ක ව්‍යාපෘති 14,088ක් මේ වන විට ආරම්භ කර ඇති අතර, රුපියල් මිලියන 9,622ක් මේ ව්‍යාපෘති සඳහා මේ වන විට මුදාහැර තිබෙනවා.”
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා:
“ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පසුගිය කාලය තුළ සිදු කළ ව්‍යාපෘති රැසක් ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා පසුබෑමකට ලක් වුණා. එසේ වුවත් පසුගිය වසර 2 තුළ රුපියල් මිලියන 10,288ක මුදලක් ප්‍රතිලාභි පවුල් 18,123කට නිවාස ආධාර වශයෙන් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට පවුල් 16,670කට සිය නිවාස සිහිනය සැබෑ කර දී තිබෙනවා. තවද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් 50ක් සඳහා රුපියල් මිලියන 52.05ක් වටිනා නිවාස ආධාර අප විසින් පිරිනමා තිබෙනවා.
“එසේම ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මකව තිබූ නිවාස වැඩසටහන යටතේ නිවාස 2,072ක ඉදිකිරීම් ආරම්භ වූ අතර, ඉන් නිවාස 732ක් ඉදි කර අවසන්. ඉන්දීය රජය රුපියල් මිලියන 1,244ක මුදලක් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පිරිනමා තිබෙනවා. තවද අඩු පොලී ණය වැඩසටහන යටතේ පවුල් 13,405ක් සඳහා රුපියල් මිලියන 5,234ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව පවුල් 13,197ක් නිවාස ඉදි කරගෙන තිබෙනවා.
“ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් මිලියන 150ක්ව තිබූ යළි අය කරගැනීමේ ප්‍රගතිය මේ වන විට රුපියල් මිලියන 310 දක්වා ඉහළ නංවාගැනීමට කටයුතු කර තිබෙනවා. මේ යටතේ තවත් නිවාස ණය වැඩි සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව හිමි වූ අතර, 12%ක මාසික පොලියක් යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන දහසක් වෙන් කර තිබෙනවා. ඒ මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 2,000ට අමතරව බවද කිව යුතුයි.
“2024 වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශය අනුව නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාසවල ජීවත්වන පවුල් සඳහා සින්නක්කර ඔප්පු පිරිනැමීම සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මේ වසර නිම වීමට පෙර කොළඹ මහා නගර සභාවේ පවුල් 1,070ක් සදහා හිමිකම් ඔප්පු පිරිනැමීමට කටයුතු කරනවා. යාපනය ගුරු නගර් නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 160කට නිවාස හිමිකම සින්නක්කර ඔප්පුවක් මඟින් භාර දීමට කටයුතු කෙරෙන අතර, එහි තවත් නිවාස 742කට අදාළ හිමිකම් ඔප්පු පිරිනැමීමට සූදානම් කර තිබෙනවා.
“1979 වසරේ සිට මේ දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආදර්ශ ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, ඒ යටතේ මැතිවරණ නිවාස 10ක්, මැතිවරණ නිවාස 20ක්, උදාගම්මාන, ආදර්ශ ගම්මාන යන ව්‍යාපෘතිවල නිවාස ගත් නමුත් සින්නක්කර අයිතිය ලැබී නැති බව පවුල් 32,000කට හිමිකම් ඔප්පු පිරිනැමීමටද අප කටයුතු සූදානම් කරමින් සිටිනවා. තවද 2015-19 කාල සීමාවේ ක්‍රියාත්මක වුණු නිවාස වැඩ සටහන් 7ක් යටතේ වැඩ අවසන් නොකළ නිවාස 44,053ක කටයුතු අවසන් කිරීමට රුපියල් මිලියන 15,244ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන අතර, ඒ මුදල ලැබුණු වහා ඒ නිවාසවල වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.”
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා:
“රටේ නාගරික ප්‍රදේශවල තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන්නෙත් නාගරික සංවර්ධන අධිකාරියටයි. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අතරමඟ නතර කෙරුණු ව්‍යාපෘති 22ක වැඩ මේ වන විට නැවත අප විසින් ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘති 22 සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1,900ක මුදලක් වෙන් කර තිබෙනවා. එසේම සැලසුම් හා ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් සේවා ඒකකයක් (ONE STOP UNIT) ආරම්භ කර තිබෙනවා. වසර 2025 වන විට ලංකාවේ සියලුම නාගරික සංවර්ධන බල ප්‍රදේශවල මේ Online ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටද අප සැලසුම් කර තිබෙනවා.
“මීට අමතරව නාගරික සංවර්ධන බලප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ 276ක් සඳහා ආර්ථික, සමාජීය, පාරිසරික හා සෞඛ්‍ය වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සැකසීම සිදු වනවා. ඉන් පළාත් පාලන ආයතන 87ක් සඳහා සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර අවසන් අතර, මේ වසර තුළ සංවර්ධන සැලසුම් 26ක් ගැසට් කිරීමටද නියමිතයි. ඉදිරි වසරවල සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂා කරනවා. තවද නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක නිවාස ඒකක 13,814ක් ඉදි කර අවසන් අතර, එහි පවුල් 11,967ක් නැවත පදිංචි කර තිබෙනවා. මේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අක්කර 116ක භූමි ප්‍රදේශයක් නැවත සංවර්ධනය කිරීමටද හැකියාව ලැබුණා.
“එසේම කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති 6ක් යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹගේ මාවත, ඇපල් වත්ත, ස්ටේඩියම් ගම, මාදම්පිටිය පාර, ෆර්ගියුෂන් පාර හා ඔබේසේකරපුර යන ප්‍රදේශවල නිවාස ඒකක 4,074ක් ඉදි කෙරෙමින් තිබෙනවා. තවද අඩු ආදායම්ලාභි පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1696ක් ඉදි කිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.
“මේ අධිකාරිය මඟින් රටට ආයෝජන ගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබෙනවා. මෙහි විශේෂ ව්‍යාපෘතියක් ලෙස තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මන්දිරය පිහිටි ඉඩම පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. එසේම කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවත විනෝදාත්මක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධය කිරීම සඳහාද ආයෝජකයන් කැඳවා තිබෙනවා.”
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච් රුවිනීස් මහතා:
“ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා නිම කරන ලද ව්‍යාපෘති සඳහා අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200කට අධික මුදලක් මේ වන විට ගෙවා අවසන්. එසේම, මේ වන විට නවතා දමා ඇති හඳුනාගත් විශේෂ ව්‍යාපෘති කිහිපයකටම ඒ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මුදල් ගෙවීම ආරම්භ කර තිබෙනවා.
“තවද ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති අතර, ජාතික ඉදිකිරීම් සංගමයේ ඉල්ලීම පරිදි 2020ට පෙර ලියාපදිංචිය ගැනීමට නොහැකි වූ අයටද නැවත ලියාපදිංචිය ගැනීමට කටයුතු සලසමින් අවුරුදු 3ක කාල සීමාවකට කුඩා හා මධ්‍යම කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාද ගාස්තු නිදහස් කර තිබෙනවා. ඉදිකිරීම් ශිල්පීන් 7,000කට පමණ NVQ සුදුසුකම් දීම, ඉදිකිරීම් ශිල්පී හැඳුනුම්පත දීම ආදි සාධනීය පියවර රැසක්ද අප විසින් ගෙන තිබෙනවා.”
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා:
“ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහා අයවැය යටතේ රුපියල් මිලියන 2,190ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඒ අතුරින් මිලියන 843.91ක මුදලක් මේ වන විට වැය කර තිබෙනවා. ඒ යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 4කට අයත් වාර්ෂික ව්‍යාපෘති 31ක් ක්‍රියාත්මකයි. ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ අගනගර කලාපයේ සහ ඒ අවට පවතින ප්‍රධාන ඇළ මාර්ගවල කි.මී. 44ක්, ද්විතීයික ඇළ මාර්ගවල කි.මී. 52ක් සහ හැමිල්ටන් ඇළේ කි.මී. 22ක දිග ප්‍රමාණයක් නඩත්තු කිරීම, ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය, කළු පාලම් යෝජිත Gate Mounted Pump ස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මකයි. තවද තෙත්බිම් සහ පහත්බිම් සංවර්ධනය, නිර්මාණ කටයුතු, සිතියම්කරණය සහ ශක්‍යතා අධ්‍යයනය යන ක්ෂේත්‍ර 2 යටතේ ව්‍යාපෘති 9ක්ද ක්‍රියාත්මකයි.”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.