ආර්ථික වශයෙන් බංකොලොත් යැයි මීට වසර දෙකකට පෙර නම් කරනු ලැබූ අපේ රටේ පොසොන් පොහෝ දින දන්සල් 50,000කට වඩා පැවැත්වීමත් ආශ්චර්යයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමරවිරු පදනම විසින් තුන්වෙනි වරටත් සංවිධාන කරනු ලබන සම්බුද්ධාලෝක පොසොන් කලාපයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ ප්‍රදර්ශනය බෙලිඅත්ත සිරි සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ ආරම්භවීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සම්බුද්ධාලෝක පොසොන් කලාපය ඊයේ(21) පස්වරුවේ ආරම්භ වූ අතර එම පොසොන් කලාපය තුළ ආගමික අංග රැසකින් සමන්විත වේ.ඒ අතර සර්වඥ ධාතු ප්‍රදර්ශනය, පොසොන් තොරණ, භක්ති ගී සංදර්ශන හා භක්ති ගී තරග, පහන් කූඩු තරග හා දන්සල් ප්‍රධාන වේ.සම්බුද්ධාලෝක පොසොන් කලාපය බෙලිඅත්ත නගරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සිට (21) මෙම 24 දින දක්වා පැවැත්විමට නියමිතය.
සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කරමින් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.
අද මාධ්‍ය ඔස්සේ පළ වී තිබු වාර්තා අනුව ලියාපදිංචි වී ඇති දන්සල් ප්‍රමාණය 4600ක්. නමුත් අපිට තිබෙන වාර්තා අනුව අද දින දන්සල් 50,000කට වඩා රට තුළ පැවැත්වෙනවා. බත් දන්සල් මෙන්ම වෙනත් විවිධ ආකාරයේ දන්සල් මේ අතර වෙනවා. මේ දන්සල්වලින් කෑම කන්නේ නැති බැරි මිනිස්සුම නොවේ. ඇති හැකි විශාල පිරිසක් දන්සල්වලින් කන්න කැමැතියි.
මීට වසර දෙකකට පෙර එදා වේලවත් හොයාගන්න බැරිව සිටි රටක දන්සල් 50,000ට වඩා පැවැත්වීම ම ආශ්චර්යයක් ලෙස මම හිතනවා. ඒ වගේම අද මහාමාර්ගවල වාහන පිරිලා.
මහජනතාව වෙහෙර විහාර වැඳ පුදාගැනීම සඳහා යනවා. මීට වසර දෙකකට පෙර වාහනයකට ඉන්ධන ටිකක් හොයා ගන්න බැරිව හිටපු රටක් මේ ආකාරයට වෙනස් කිරීමට රජය ගත් පියවර අගය කළ යුතුයි.
ඊයේ (21) පෙරවරුවේ මම වීරකැටියේ දන්සලකට ගියා. එය බෙදා දුන්නේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාරයි. ව්‍යාපාරික මහත්මයකු මේ සද්කාර්යයට දායක වී තිබුණා. පොසොන් දා පැවැත්වෙන දන්සල් විශාල ප්‍රමාණයක් දෙන්නේ ව්‍යාපාරික ආයතන විසින්. ඒ සඳහා එම ව්‍යාපාරිකයින්ගේත් අතමිට සරු යුගයක් අද උදාවෙලා තියෙනවා ‘ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බුද්ධිකා ඉඹුලාන