Home » හාර කෝටි අසූ ලක්ෂයක රන් බිස්කට් 18ක් එක්ක ගුවන්තොටේ රැකවලෙක් කටුනායකදී රේගු දැලේ

හාර කෝටි අසූ ලක්ෂයක රන් බිස්කට් 18ක් එක්ක ගුවන්තොටේ රැකවලෙක් කටුනායකදී රේගු දැලේ

by gayan
June 22, 2024 1:00 am 0 comment

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන යමින් සිටි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරියකු ඊයේ (21) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරියා වසර 15ක් තිස්සේ සේවයේ නිරතව සිටින මාතර හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. මොහු තම රාත්‍රී සේවා මුරය නිමා කර, ගුවන් මඟින් පැමිණි කිසියම් මඟියකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියකදී දුන් රන් බිස්කට් තොගය සිය කලිසම් සාක්කුවල දමාගෙන, ගුවන්තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වී තිබිණි.

මෙසේ මෙම රන් බිස්කට් තොගය ගුවන්තොටුපොළෙන් පිට කර දීමට රුපියල් හැට දහසක මුදලක් දීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇති බව රේගුව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ. කැරට් 24 මේ රන් බිස්කට්ටුවක් ග්‍රෑම් 116.6ක් බරකින් යුක්ත වන අතර, මේ රන් බිස්කට් තොගය කි.ග්‍රෑ. 2යි ග්‍රෑ. 086ක බරකින් යුක්තය.

මේ අවස්ථාව අධීක්ෂණය කිරීමට රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාද කටුනායක ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රයට පැමිණ සිටියේය. මෙසේ අත්අඩංගුවට පත් ගුවන්තොටුපොළ ආරක්ෂක පරීක්ෂක නිලධාරියා අත්අඩංගුවේ තබාගෙන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT