Home » සුදු මැස්සාට ගහන කොහොඹ තෙල ඇහැටවත් දැක්කෙ නෑ
කෝටි 8ක් යට කර ගෙන්නුවැයි කී

සුදු මැස්සාට ගහන කොහොඹ තෙල ඇහැටවත් දැක්කෙ නෑ

පෙදෙස් රැසක පොල් ගොවීන්ගෙන් චෝදනා

by gayan
June 22, 2024 1:00 am 0 comment

මෙරට පොල් වගාවට හානි පමුණුවා ඇති ‘සුදු මැස්සා’ (White Flies) මර්දනයට රුපියල් කෝටි 8කට අධික මුදලක් (රු. මිලියන 82ක්) වැය කර ආනයනය කළ කොහොඹ තෙල් නිස්සාරණය එම උවදුර පවතින බොහෝ ප්‍රදේශවලට නිසි ලෙස බෙදා හැර නැතැයි පොල්වගාකරුවෝ චෝදනා කරති.

පොල් වගා කරුවන්ගේ ප්‍රාදේශිය සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම කොහොඹ තෙල් නිස්සාරණ ඇතැම් ප්‍රදේශවල පොල් වගා කිරීමේ මණ්ඩල ප්‍රාදේශීය කාර්යාලවල ගොඩගසා තිබුණද ඒවා නිසි කලට තමන්ට නොලැබීම නිසා තම වගා මේ වන විට විනාශ වී ඇති බවයි. ඇතැම් වගාකරුවන් පෙන්වා දෙන්නේ රුපියල් මිලියන ගණනක් ගෙවා කොහොඹ තෙල් කියා ආනයනය කර ඇත්තේ දැවි තෙල් බවයි. මේවා යෙදීමෙන් වගාව විනාශවනවා මිස ‘සුදු මැස්සා’ රෝග පාලනයක් නොවන බවද ඒ වගාකරුවන් අවධාරණය කර ඇත. රට තුළ පවත්නා වියළි කාලගුණික ත්ත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වූ අතර, දැනට බස්නාහිර පළාතේ පවතින දැඩි වර්ෂාව නිසා එම පළාතේ සුදු මැසි උවදුර යම් තරමකට පාලනය වී තිබේ.

සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ෂණයයක් දක්වන හෙයින් උගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, මේ හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි 36%ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබිණි. දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් (එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ) අපනයනය කරන අතර, එක් ගෙඩියක් මඟින් ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250ක ආදායමක් ලැබෙන බවත්, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට තර්ජනයක් එල්ල කර ඇති බවත් මෙහිදී අනාවරණය විණි.

උතුර, උතුරුමැද හා නැඟෙනහිර පළාත්වලද ශීඝ්‍රයෙන් මේ සුදු මැසි උවදුර ව්‍යාප්ත වෙමින් පවතින අතර, දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරීක්ෂණයට ලක් කළ අතර, දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුළුඔය සහ මූන්දලම යන ප්‍රදේශවල පරික්ෂිත ස්ථානවල (විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස්වලත්) සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබිණි.

මේ අවදුර මර්දනයට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිලධාරීන් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදා හැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල් ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමටත් පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබිණි. එහෙත් මේ ක්‍රියාමාර්ග ක්‍රමවත්ව ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වී නැති බැවින් තම පොල්වගාව හා තැඹිලි වගාව ‘සුදු මැස්සා’ විසින් විනාශ කර ඇතැයි පොල් වගාකරුවෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ ‘සුදු මැස්සා’ රෝගය පාලනයට තම අමාත්‍යාංශය හැකි උපරිම පියවර ගෙන ඇති බවත් එහිදී ප්‍රාදේශීය වශයෙන් යම් අඩුපාඩු සිදු වී ඇතැයි වගාකරුවන් පවසන සිද්ධිවල සත්‍යතාව පිළිබඳ සොයා බලන බවත්ය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT