සුබසාධන වැඩපිළිවෙළ නිශ්චිතව සහ සැලැස්මක් සහිතව සිදු කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනත අතිශය වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඑ ඒ මහතා මෙසේද පැවසීය:
“පසුගිය සතියේ අනපනත් කිහිපයක් සම්මත වුණා. ඒ වගේම ඒ අනපනත් පිළිබඳ විවිධ අදහස් සහ මතිමතාන්තර වාර්තා ගණනාවක් රට තුළ සංසරණය වුණා. සාකච්ඡාවටත් භාජනය වුණා. ඒ ආර්ථික පරිවර්තන පනත සහ විදුලිබල පනතයි. ඒ පනත් දෙක පිළිබඳවම අපේ රටේ හැම දෙයක්ම වැරදි විදියට දකින දේශපාලන පක්ෂ සහ සමහර වෘත්තීය සමිති බරපතළ විදියට විවේචනය කළා. ඒත් මධ්‍යස්ථ පිරිස, රට දියුණු වෙනවට එකඟ පිරිස සහ රට ඉදිරියට යනවාට කැමැති අය බොහොම සද්භාවයෙන් අඩුපාඩු විවේචනය කළා. ඒත් මේවගෙ තිබෙන හොඳ තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳ අදහසුත් ප්‍රකාශ කළා. ආර්ථික පරිවර්තන පනතක් ගෙනාවෙ ඇයි කියන කාරණයේදී ඉතා පැහැදිලි වෙනවා අපේ රටට ආයෝජන ඕනෑ වෙනවා. ඒත් ආයෝජනයක් ආවට ඒක වහාම ක්‍රියාත්මක කළ නොහැකි විදියට පවතින අපේ යල්පැන ගිය නීති රීති තිබෙනවා. සුනාමි ව්‍යසනයෙදිත් ඒක වුණා. ආර්ථික අර්බුදයෙදිත් ඒ දේ වුණා. මේ කාරණා දෙකටම කලිනුත් ඒ දේ දැක්කා. බදුල්ල ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් නිරීක්ෂණය කරන්න ගිය අවස්ථාවක අප දැක්කා අපේ රටේ ආයෝජකයෙක් ට්‍රාන්ෆෝමර් එකක් ගන්න මුදල් බැඳලා අවුරුදු තුනක් බලාගෙන ඉඳලා තිබෙනවා.
“එවැනි තත්ත්වයක නම් මේ රටේ පරිපාලනය සහ ආයතනවල වැඩ තිබෙන්නෙ, රටක් කොහොමද ඉදිරියට යන්නෙ? ආයෝජන කොහොමද එන්නෙ? එන ආයෝජන ක්‍රියාත්මක කරනවාද? කියන බරපතළ ගැටලුව අපි හමුවේ තිබෙනවා. ඒ නිසා ආයෝජනවලට හිතැති පරිසරයක් රට තුළ හැදීම අත්‍යවශ්‍යයි. ආයෝජනයක් පැමිණි විට ඒ දේ කරන්න පුළුවන්ද බැරිද කියලා සතියක් තුළවත් කියන්න ඕනෑ. අඩුම වශයෙන් සතියක් දෙකක් මාසයක් තුළ ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් කර ගන්න ඕනෑ. ඒ අරමුණෙන් තමයි ආර්ථික පරිවර්තන පනත ගේන්නෙ. අපේ රටේ පසුගිය කාලෙ ඇති වුණ ආර්ථික අර්බුදය වගේ දෙයක් නැවත ඇති වීම වැළැක්වීම මේකෙ මූලික අරමුණු විදියට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකඟව, එකතු වී කරන වැඩ හරහා රටේ පොදු අභිවෘද්ධියට වැඩ කරන්න ඕනෑ කියලා.
“ඒ වගේම ජනතාවගේ සුබසාධන පහසුකම් ඉහළ නංවන්න ඕනෑ කියලා. අප දන්නවා අපේ රට ඉතිහාසයේ සුබසාධන රාජ්‍යයක් විදියට ක්‍රියාත්මක වුණේ. ඒකෙන් අපි මිදෙන්න උත්සහා ගත්තා. ඒත් ඒක හරියට කරගන්න බැරි වුණා. දැනටත් ආර්ථික අර්බුදය නිසා අපේ රටේ රැකියා නැති වුණ ලක්ෂ 5ක්, දුප්පතුන් ලක්ෂ 25ක් රට ඇතුළෙ ඉන්නවා. ඒ අයට සුබසාධනය සලසන්නෙ නැතිව අපට ඉදිරියට යන්න බෑ. ඒ සුබසාධන වැඩපිළිවෙළ නිශ්චිතව, සැලැස්මක් සහිතව කරන්න ඕනෑ කියන දේයි මේකෙන් අදහස් වෙන්නෙ. ඒ වගේම ඒ වැඩපිළිවෙළින් මිනිසුන් මුදාගෙන ව්‍යවසායකයන් බවට පත් කරලා රටත් සමඟ ඉදිරියට යන වැඩසටහනක් ඕනෑ කියන දේ තමයි මේකෙන් කියන්නෙ. ඒ නිසා මේ ආර්ථික පරිවර්තන පනත අතිශය වැදගත් පනතක් වෙනවා. විවිධ විවේචන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය සහ විවිධ වෘත්තීය සමිති කියන්න පටන් ගෙන තිබෙනවා. මේ ආර්ථික පරිවර්තන පනතේ ආර්ථික කොමිෂන් සභාවක් එනවා. ආයෝජන කලාප පරිපාලනය කිරීමක් එනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක් එනවා. ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් එනවා. ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනයක් ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඒ දේවල් තමයි මේ පනත තුළෙ සිදු වෙන්නෙ.”
මේ අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමි, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ලේකම් සම්පත් රාජිත, සුප්පයියා ආනන්දකුමාර්, වරාය ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංගා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.
නෙත්මි පූජනී රත්නායක