Saturday, May 17, 2025
Home » ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

කමින්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

by gayan
June 22, 2024 1:00 am 0 comment

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සමත් විය.

තරගාවලියේ සුපිරි අට වටයේ සිව්වැනි තරගයේදී කමින්ගේ මේ දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක පහසු ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.

ඇන්ටිගුවාහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 100ක් රැස් කර තිබුණේ ඕවර 11.2කදීය.

අනතුරුව දිගින් දිගටම වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට තරගයේ තීරණය භාර දෙමිනි. ඔස්ට්‍රේලියාව ඒ වන විට (ඕවර 11.2කදී) රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 72ක් වූ අතර, ඒ අනුව ඔවුන්ට ලකුණු 28ක ජයක් හිමි විය.

ඩේවිඩ් වෝනර් පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 53ක් සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 6කින් නොදැවී ලකුණු 14ක් රැස් කර තිබිණි. ට්‍රෙවිස් හෙඩ් ලකුණු 31කට සහ නායක මිචෙල් මාෂ් එක් ලකුණකට දැවී ගොස් තිබුණේ රිෂාඩ් හොසේන්ගේ පන්දු හමුවේය.

නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 41ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. තව්හිද් හ්රිදෝයි ලකුණු 40ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරය ක්‍රියාත්මක කළ පැට් කමින්ස් අවසන් පන්දු දෙකෙන් පිළිවෙළින් මහමුදුල්ලාහ් (2) සහ මෙහෙදි හසන් (0) දවාගත් අතර, ඔහුගේ ඊළඟ ඕවරයේ (20) පළමු පන්දුවෙන් තව්හිද් හ්රිදෝයි (40) දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 7 වැනි පන්දු යවන්නා ලෙස කමින්ස් වාර්තා පොතට එක් වූ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ සිව්වැනි පන්දු යවන්නා ද විය.

මෙය බංග්ලාදේශයට එරෙහිව වාර්තා වූ 7 වැනි කඩුලු ත්‍රිත්වය වන අතර, ඕනෑම කණ්ඩායමකට එරෙහිව වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාව ද විය. ඉන් තරග 3කදී මහමුදුල්ලාහ් දැවී ගොස් ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවකට හසුවී ඇති ක්‍රීඩකයා වන ඔහු විස්සයි20 තෙවරක්, එක්දින තරගවලදී තෙවරක් සහ ටෙස්ට් තරගයකදී එක් වරක් දැවී ගොස් තිබේ.

බංග්ලාදේශය – 140/8 (ඕවර 20) ජ්මුල් හොසේන් ෂැන්ටෝ 41, තව්හිද් හ්රිදෝයි 40 (පැට් කමින්ස් 29/3, ඇඩම් සම්පා 24/2)

ඔස්ට්‍රේලියාව – 100/2 (ඕවර 11.2) ඩේවිඩ් වෝනර් නොදැවී 53, ට්‍රෙවිස් හෙඩ් 31 (රිෂාඩ් හොසේන් 23/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT