Home » ඔලිම්පික් දින සැමරුමට මහනුවර පාසල් සිසුහු 1200ක්

ඔලිම්පික් දින සැමරුමට මහනුවර පාසල් සිසුහු 1200ක්

by gayan
June 22, 2024 1:00 am 0 comment

ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා විසින් ඔලිම්පික් පහන රැගත් සංස්කෘතික පෙරහැරේ සමාරම්භය සටහන් කළ අයුරු. ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික ලේකම් ඔලිවියා බෙල්මෝර්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, ඔලිම්පික් කමිටු උප සභාපති සුරංජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය ලේකම් වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ යන මහත්ම මහත්මීහු ද සිටිති.

ලොව පුරා රටවල් 205ක් ජගත් ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන් සංවිධානය කරද්දී, සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මහනුවර දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වූ විශේෂ සැමරුම් උලෙළ සාර්ථකව නිමාවට පත් විය. පාසල් සිසුන් 1200ක පිරිසක් එක්වූ මේ ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන තුළින් ඔලිම්පික් සාරධර්ම පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේය.

මෙම ඔලිම්පික් දින සැමරුම වෙනුවෙන් යෞවනයන් සහ වැඩිහිටියන් සඳහා විවිධ ඉසව් කිහිපයක්ම ඇතුළත්ව තිබූ අතර, අශ්වයන් පැඳීම පිළිබඳ පුහුණු වැඩමුළුව හා සුම්බා ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩසටහනක්, පාසල් දරුවන් වෙනුවෙන් චිත්‍ර සහ අත්කම් තරගය, පාසල් දරුවන්ගේ අභියෝගතා බාධක තරගය, ඔලිම්පික් දින සංස්කෘතිකාංග ඇතුළත් පෙරහර, යෞවනයන් වෙනුවෙන් ඔන්ලයින් ටික් ටොක් තරගය හා පරිසරය සුරැකීමේ රුක් රෝපණ වැඩසටහන ප්‍රධාන තැනක් ගත්තේය. එමෙන්ම පරිසරය සුරැකීමේ රුක් රෝපණය වැඩසටහනක්ද මහනුවර දිගන ප්‍රදේශයේ පැවැත්වීම විශේෂත්වයකි.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශනයක් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චතුරංග රණසිංහ මහතා විසින් පැවැත්වූ අතර, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතා අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ විශේෂ දේශනයක් පැවැත්විය.

1894 වසරේ ජූනි මාසයේදී පැරිසියේ සෝබෝන්හිදී ආරම්භ වූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මේ වනවිට වසර 130ක් සම්පූර්ණ වී තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වෙන ප්‍රංශයේ ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේදී මේ විශේෂ උත්සවය පැවැත්විණි.

ප්‍රින්ස් ගුණසේකර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT