Home » කුරුලු උණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි

කුරුලු උණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි

by chanaka
June 23, 2024 10:49 am 0 comment

ඉන්දියාව වැනි අසල්වැසි රටවල මිනිසුන් අතර කුරුළු උණ හඳුනා ගැනීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.

කුරුළු උණ යනු ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් ඇති වන බෝවන රෝගයකි.

එය මූලික වශයෙන් පක්ෂීන්ට බලපාන නමුත් අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ටද ආසාදනය විය හැකිය.

මෙම රෝගය ඉන්ෆ්ලුවෙන්සා වෛරස්වල විවිධ ප්‍රභේද නිසා ඇති විය හැකි අතර, H5 උප වර්ගය දරුණු ලෙස පැතිරයෑමට ඇති හැකියාව නිසා වඩාත් වැදගත් එකක් වේ.

ප්‍රධාන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට H5, H7, H9 සහ H10 ඇතුළත් වේ.

ප්‍රධාන මානව ආසාදන ප්‍රභේද වන්නේ H5N1, H5N8 (කලාතුරකින්), H7N9, H7N2, H7N3, H7N7, H9N2 සහ H10N8ය.

H5N1 සහ H7N9 විශේෂයෙන් දරුණු වන අතර එය ඉහළ මරණ අනුපාතයක් ඇති කරයි.

H9N2 සහ H10N8 සාමාන්‍යයෙන් මෘදු රෝග ඇති කරයි.

මෙම වෛරස් විකෘති වීමට සහ වසංගත ඇති කිරීමට ඇති හැකියාව හේතුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ඉතා වැදගත් වේ.

උදාහරණය වන්නේ බටහිර බෙංගාලයේ දරුවකුට කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ඒ (H9H2) වෛරසය සමඟ මිනිස් ආසාදනයක් පිළිබඳ මෑතදී වාර්තා වීමයි.

මෙය H9N2 ප්‍රභේදය වාර්තා වූ දෙවැනි අවස්ථාව පමණි.

ඉන්දියාවේ මිනිසුන් අතර පළමු සිදුවීම 2019 දී වාර්තා වී තිබිණි.

කුකුළු මස් නිසා දරුවා ආසාදනය වී ඇති අතර පසුව සුවය ලබා තිබේ.

මීට අමතරව, 2024 මැයි මාසයේදී, ඕස්ට්‍රේලියාව සිය පළමු කුරුළු උණ රෝගියා සනාථ කර තිබිණි.

එක්සත් ජනපදයේ H5N1 කුරුළු උණ රෝගීන් තිදෙනෙකු 2024 දී වාර්තා වි ඇති අතර එම රෝගීන්ට අදාළ සිද්ධි ටෙක්සාස් සහ මිචිගන්වල කිරි එළදෙනුන් සමඟ සම්බන්ධ වී ඇත.

මෙම සිද්ධීන් මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වූ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව සෘජුවම සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයක් විය.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහපවසා ඇත්තේ පැවසුවේ කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විවිධ ප්‍රභේද මිනිසුන් ඇතුළු නව කණ්ඩායම්වලට අනුවර්තනය වීමට ඇති හැකියාව නිසා සැළකිව යුතු අවධානයක් යොමු කරන බවයි.

“ගෝලීය තත්ත්වය අනුව, ශ්‍රී ලංකාව මිනිසුන් තුළ H9, H7 සහ H5 කුරුළු උණ රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කර තිබෙනවා. තවද, පර්යන්ත රෝහල්වල සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා නිරීක්ෂණ මගින් මිනිසුන් තුළ කුරුළු උණ ඇති බවට සැක කෙරෙන ඕනෑම සිද්ධියක් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා ” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

වෛරසය පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය ජයමහ පෙන්වා දුන්නේ කුරුල්ලන්ගේ කෙල, ශ්ලේෂ්මල සහ අසූචිවලින් වෛරසය වැගිරෙන බවත්, ඒ අනුව ආසාදිත පක්ෂීන් හෝ දූෂිත පරිසරයන් සමඟ සමීප, අනාරක්ෂිත සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට හෝ සතුන්ට වෛරසය ආසාදනය විය හැකි බවත්ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT