ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති වෙළෙඳපළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 200ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණයකින් එළි දක්වා තිබුණි. මේ සංඛ්‍යාලේඛනය වනාහි අධ්‍යාපනය සඳහා මේ රටේ ඇති උනන්දුව දක්වන සාධකයක් ලෙස මේ තීරුව වටහා ගැනීමට කැමැත්තේය. ගෙදර දොරේ දහසක් ප්‍රශ්න මධ්‍යයේ වුවද, වේලක් හැර වේලක් කා, මවුපියෝ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඉහළම වැය බර දරන්නාහ. පාසල් දරුවා යනු ජාතියේ පහන් ටැඹය. එය දල්වන එළිය, ජාතියේ අනාගතයට පාර කියන්නේය.
අනාගත පරපුර සඳහා තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුකවීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන ලද්දේ මඩකලපුවේදීය.
සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද තමා ලද අත්දැකීම් අනුව, අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුවේ පැවති, දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී තරුණියක ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවාය. ඒ සඳහා ඔහු ලබා දුන් පිළිතුර, සමස්ත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ගහනය සඳහාම ආදර්ශ පාඨයක් වන්නේය.
අධ්‍යාපනය විසින් නිපදවන්නේ අනාගතය ජය ගන්නා පුරවැසියන් පමණක් නොවේ. මේ රටට අවශ්‍ය නායකයෝ ‘සාදා නිම කිරීම’ ද අධ්‍යාපනයේ කාර්යයකි. මේ තීරුව අද මාතෘකාව ලෙස ගන්නේ මේ රටේ නායකයන් පිළිබඳව සමාජයේ ඇති චිත්‍රයය. විකෘතියට කළ හැකි හානිය කොතෙක්දැයි කිවහොත් දැන් රටේ ‘නායකයෙක්’ යනු හෙළා දැකිය යුතු චරිතයකි. අන් සමාජයකට, නායකයා වනාහි ආදර්ශයකි. මෑත කාලයේ සමහර කල්ලි විසින් ඇති කරන ලද ප්‍රවණතාවය අනුව ‘මේ රට විනාශ කර ඇත්තේ’ අපේ නායකයන්ය. නැතිනම්, නායකයෝ මේ රටේ ජනතා මුදල් කාබාසිනියා කරමින් ජීවත් වෙන පිරිසකි. මේ ආදී අසුබවාදී චිත්‍ර ගෙන බලන විට, නායකත්වය සඳහා පත්වීමට වඩා, තමන්ගේ පාඩුවේ වැඩක් කර ගෙන සිටීමට ජනයා පෙලඹෙනවා ඇත.
නායකත්වය සඳහා ගැරහීම ආරම්භ වනුයේ ‘සොරා කෑමේ’ මන්තරය අතට ගෙනය. හොරා කෑම පමණක්ම දේශනා කරමින් මේ රටේ මාක්ස්වාදීන් හැසිරෙන ආකාරය දකින විට ලෙනින් ‘පොලිසියේ’ රස්සාවක් කළේදැයි යමෙක් සැක සිතනවා ඇත්තේය. ඒ තරමට හොරකම පිළිබඳව එළව එළවා, කතා කිරීම ‘අලුත් වමේ’ දේශපාලන න්‍යාය පත්‍රයේ විය.
ෆයිල් ප්‍රදර්ශන ආදිය තබා ‘හොරාකෑම’ පිළිබඳව රටේ මතයක් සෑදීම කෙතෙක් ‘උඩ දැමුවේ’ වුවද අවසානයේ අල්ලපු හොරෙක් නැත්තේය. හොරු ඇල්ලීම වෙනුවට හැමදාම හොරකම් පිළිබඳව කියාගෙන කියාගෙන යන්නේය. මුලින්ම කියන ලද්දේ, වැඩේ සඳහා ‘පවතින නීති’ පණ මදි බවය.
එහෙම කියා වැඩේ ‘අහකට කපා’ හැමදාම චෝදනා මිටියක් කියවාගෙන යෑමට ඉඩදිය යුත්තේ නැත. මේ සඳහා ළඟ උදාහරණ තුනක් ඇත්තේය. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව මුල්ම විරෝධය පැමිණියේ සමාජයෙන්ය. ඒ සඳහා පැමිණි සමාජ විරෝධය සමඟ ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලද්දේ නීතිපතිවරයාය. එම නඩුව සඳහා අධිකරණයේ ඉඩ විවර වී ඇත්තේ, දේශපාලන පක්ෂ හෝ තරාතිරම නොබලාය. ඊළඟ අවස්ථාව ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳවය. ඒ සඳහා පෙරමුණ ගත්තේ ඕසල ලක්මාල් අනිල් හේරත්ය. හෙතෙම මේ චෝදනාව ‘එහෙට මෙහෙට’ පාස් කළේ නැත. කෙළින්ම ගොස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් දැමුවේය. ඒ සඳහා අධිකරණයෙන් තීන්දුවක් දැන් ලැබී අවසන්ය. ඉතාම කෙටි කාලයක් තුළ, හෙළි කළ නොහැකි ආකාරයට, කෝටි ගණනක දේපළ උපයා ගත් බව කියමින්, පියුමි හංසමාලිට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුණේ ‘මගෙන් රටට’ සංවිධානයේ සංජය මහවත්තය. දැන් ඒ ගැන පරීක්ෂණ ඉදිරියට ඇදී යන්නේය.
ඔය ආකාරයට චෝදනාවක් සම්බන්ධයෙන් ක්‍රියා කරනවා විනා ‘කාඩ් ගැසීමෙන්’ පමණක් වැඩේ සිදුවන්නේ නැත. එහි අරමුණ දේශපාලන වශයෙන් පිරිසක් තොලොංචි කිරීමය. වර්තමානයේ දූෂණ නීතිය අතිශය බලවත්ය. ඒ සඳහා වෙනම ක්‍රියාකාරී වැඩ කොටසක් මේ ආණ්ඩුව ඉටු කළේය.
ඒ ආකාරයට දූෂණ ඉදිරියේ ක්‍රියා කළ හැක්කේ නම් සහ ‘හැපීම සඳහා දත් අතිශය ශක්තිමත්’ නම් ආයෙත් වටේ යා යුත්තේ නැත. වැඩේට කෙළින්ම බැසිය හැකිය.
එසේ නොකර චෝදනා එල්ල කිරීමෙන් පමණක් ‘වැඩේ පත්තු වන්නේ’ නැත. එසේම එයින් මේ රටේ දේශපාලන සංස්ථාව සහ නායකත්වය යන දෙකම එකවර බාල්දු වන්නේය. රටේ නායක තනතුර කියන්නේ ජනාධිපතිකම වුවද අනෙක් මැති ඇමැතිවරු ප්‍රධාන තීරක බලවේග ඒ ආකාරයට, අභූත චෝදනා යටතේ බාල්දු කළ කල්හි මේ රටේ ‘සංවිධාන ව්‍යුහය’ මුළුමනින්ම නාය යන්නේය. රටේ සෑම ස්ථරයකම නායකයා වෙත ඇති පිළිගැනීම බාල්දු වන්නේය. මේවා දකින අනාගත පරපුර නායකයෙක් වීමේ සිහිනයෙන් මිදෙන්නේය.
එතැන් පටන් මේ රටේ නායක චරිත සඳහා පණ පොවන්නේ වෙනත් සමාජ තලයක උදවියය. අධ්‍යාපනය අතින් අප රට ලෝකයා ඉදිරියේ හොඳ නමක් සටහන් කරගෙන ඇත්තේ වුවද ඔය ආකාරයෙන් නායකත්වය බාල්දු කළ විට කුංකුනාවේ හාමුදුරුවන්ගේ කියමන, අපේ ඇස් පනාපිටම සැබෑ වෙනවා ඇත.