Thursday, May 15, 2025
Home » උසස් පෙළ සිසුවා මවට වැඳ වෙඩි තබාගෙන මරුට

උසස් පෙළ සිසුවා මවට වැඳ වෙඩි තබාගෙන මරුට

by sachintha
June 26, 2024 1:58 am 0 comment

මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු සිය වම් අතේ ස්ථාන තුනක් පිහියකින් කපාගෙන අනතුරුව ගිනි අවියකින් මුඛයට වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර පිහිටි ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලැබූ සිසුවකු බව පොලිසිය සඳහන් කළේය.

මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරන්නේය.

එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොහොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි.

මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙසේ වෙඩි තබාගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතළ හානි සිදුව තිබූ බව පොලිසිය පවසයි.

පියා සතු බෝර 16 වර්ගයේ පතොරම් තුවක්කුවකින් මෙම වෙඩි තබා ගැනීම කරගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ගිනි අවිය නිවසේ සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම කර ගෙන ඇති බව පොලිසිය කියයි.

මව, පියා රැකියාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමඟ මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවය සඳහා යාමට සූදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සහෝදරයා වෙඩි තබාගෙන සිටිනු දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.

එස්.වයි. කුලසේකර නමැති සාක්ෂිකාර සොහොයුරා පවසන්නේ මල්ලි තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි.

ගම්පොළ ජාත්‍යන්තර පාසලකින් මූලික අධ්‍යාපනය ලබා මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සාපෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර පාසලට ඇතුළත්ව තිබේ.

නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කර ගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසේ.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර, පරිගණකය හා ජංගම දුරකතනය නිතර පරිහරණය කර තිබේ.

වෙඩි තබා ගැනීමට පෙර මෙම සිසුවා තියුණු පිහියකින් වම් අතේ ස්ථාන තුනක් කපාගෙන තුවාල කරගෙන තිබූ බවද පරීක්ෂණවලින් අනාවරණය විය.

පොලිසිය සැක කරන්නේ මෙම සිසුවා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවය. එසේම විභාගය පිළිබඳව සිතා ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද ප්‍රකාශ විය.

ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී එච්.එම්. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති වෙළගෙදර, ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් සැරයන්වරුන් වන (2191) නිලන්ත, (21002) බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT