ඉන්දීය අනවසර ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (25) සිදුකළ මෙහෙයුමකදී ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නාවිකයකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව නාවික හමුදාව පවසයි.
ඊයේ (25) අලුයම් කාලයේ සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කළ බව නාවික හමුදාව සඳහන් කරයි. එහිදී ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ සාමාජිකයෙකු, ඉන්දීය ධීවර යාත්‍රාව අනතුරුදායක හා කලහකාරි ලෙස හැසිරවීම හේතුවෙන් (Aggressive Manoeuvres) සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවද නාවික හමුදාව සඳහන් කළේය. එම නාවික හමුදා සාමාජිකයා රෝහලට ඇතුළත් කිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බවද නාවික හමුදාව කියයි.
එහිදී, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැලකිය යුතු හානියක් වී ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයන් දසදෙනා (10) කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා විසිඅටක් (28) සහ ඉන්දීය ධීවරයන් දෙසිය දාහතර දෙනෙකු (214) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ