කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියන 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් ගෙවන ලෙස නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන ජූලි මස 04 වැනිදා කරුණු තහවුරු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට අභියාචනාධිකරණය ඊයේ (26) නියම කළේය.
අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නම් කරන ලෙස ඉල්ලා තමන් මෝසමක් කළ බවය.
එම මෝසම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම මෝසම ජූලි මස හතරවැනිදා සලකා බැලීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. එම පෙත්සම විභාග කිරීම සඳහා පත්කර සිටි පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඩී.එන්. සමරකෝන් මහතා මේ වන විට විශ්‍රාම ලබා සිටින බැවින් ඒ සඳහා නව විනිසුරු මඬුල්ලක් පත් කළ යුතු බවට එහිදී අධිකරණයේ අවධානය යොමුවිය. හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සමඟ නීතිඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටියහ. අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.