Home » ජනමාධ්‍ය සරසවිවලිනුත් සරසවි ජනමාධ්‍යයෙනුත් පෝෂණය විය යුතුයි
ජාතික ගුවන්විදුලියේ ශත සංවත්සර සමරු උත්සවයෙන්

ජනමාධ්‍ය සරසවිවලිනුත් සරසවි ජනමාධ්‍යයෙනුත් පෝෂණය විය යුතුයි

කැලණිය සරසවියේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ

by mahesh
June 28, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක
ගුවන්විදුලි සමීක්ෂණ වාර්තාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා විසින් ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතාට පිළිගන්වනු ලැබූ අයුරු. ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

ජනමාධ්‍ය, විශ්වවිද්‍යාලවලින් පෝෂණය විය යුතු බවත් විශ්වවිද්‍යාල ජනමාධ්‍යයෙන් පෝෂණය විය යුතු බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ පැවති ගුවන්විදුලි සන්නිවේදනයේ ශත සංවත්සරය නිමිති කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය විසින් කළ ගුවන් විදුලි සමීක්ෂණ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

පුරවැසියන් සහ විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස ගුවන් විදුලිය ශ්‍රාවකයා අතර ඔසවා තැබීමට කටයුතු කළ යුතුයි. මේ සමීක්ෂණ වාර්තා හරහා ඉදිරිපත් වන කරුණු රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විද්වතුන් අවධානයට ගතයුතුයි. මේ සමීක්ෂණ වාර්තාවට දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 18ක් තෝරාගෙන ඒවායේ ග්‍රාම සේවා වසම්වල ගෘහ ඒකක දහසක් නියැදියක් වශයෙන් තෝරාගෙන මේ සමීක්ෂණය කළා. මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, භූගෝල විද්‍යා අධ්‍යයන අංශය සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශය විශාල සහයෝගයක් දී තිබෙනවා. මේ ගෘහ ඒකක දහස තුළ ගුවන් විදුලිය ශ්‍රවණය කරන පිරිස 506ක් ලෙස හඳුනාගෙන තිබෙනවා. සියයට තිස් දෙකක් ආගමික වැඩසටහන් සඳහා නැඹුරුවක් ඇති බව පැහැදිලියි. ගුවන්විදුලි නිවේදකත්වයට තිබෙන අභිරුචිය වර්තමානය වන විට ඉතා පහළ තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ වගේම නිශ්චිත අදහසක් නැතිව ගුවන්විදුලි නාලිකා ශ්‍රවණය කරන පිරිසක් ද සිටිනවා යැයි ප්‍රකාශ කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා –

ගුවන් විදුලිය යනු අනාගත විද්‍යාඥයන්ට විශ්වවිද්‍යාලයකි. විද්‍යාර්ථීන්ට මෙන්ම ගුවන්විදුලිය පිළිබඳ ගවේෂකයන්ටද ගවේෂණයේදී පහසුවීමට ගුවන්විදුලි වංශ කතාව ලේඛනගත කිරීම ඉතා වැදගත්. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ගුවන්විදුලියේ අතීතය සංරක්ෂණය කරමින් ඩිජිටල්කරණයට එක් කර අනාගත පරපුරට එහි දැනුම ලබාදිය යුතුයි. ගුවන්විදුලි සන්නිවේදනයට වසරක් සපිරෙන මොහොතේ ඒ සඳහා මුල පිරීම වැදගත් වන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා-

ලෝකයේ තරගකාරී ලෙස ව්‍යාප්ත වන DRM තාක්ෂණය ගුවන්විදුලි සංස්ථාවට සියවසක් සපිරෙන මේ අවස්ථාවේ ගුවන්විදුලි විකාශනයට එක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඒ සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පර්යේෂණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එය කඩිනමින් ගුවන්විදුලි විකාශනයට එක් කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ඉන්දියාව මැද පෙරදිග ආදී රටවල ගුවන්විදුලි ඉතා හොඳින් ජනප්‍රිය කළ හැකියි. ගුවන්විදුලියේ ආර්ථිකය ද ශක්තිමත් කර ගනිමින් ආයතනයේ අභිවෘද්ධිය ද සලසා ගැනීමට එය මහත් පිටිවහලක් වෙයි කියා බලාපොරොත්තු වෙනවායැයි පැවසීය.

ගුවන්විදුලි සමීක්ෂණ වාර්තාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය නිලන්ති ද සිල්වා මහත්මියට පිළිගැන්වූ අතර අනතුරුව සමීක්ෂණ වාර්තාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතාට පිළිගැන්වීම සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්ම ශ්‍රී රංජන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT