Home » සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීම වහා නතර කරන්නැයි ඉල්ලා ග්‍රාම නිලධාරීහු වැඩ වරති

සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීම වහා නතර කරන්නැයි ඉල්ලා ග්‍රාම නිලධාරීහු වැඩ වරති

by mahesh
June 28, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ආණ්ඩුව විසින් සකස් කර ඇති සේවා ව්‍යවස්ථාව, ගැසට් කිරීම වහාම නතර කරන්නැයි ඉල්ලමින් ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ග්‍රාම නිලධාරීන් ඉල්ලූ සේවා ව්‍යවස්ථාව වෙනුවට අමාත්‍යාංශ නිලධාරීන්ට අවශ්‍ය සේවා ව්‍යවස්ථාවක් ගැසට් කිරීමට උත්සාහ කරන බවත් එය වහාම නතර කරන ලෙස ඉල්ලා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවත් සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ‘දිනමිණ‘ට පැවසීය.

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට පත් කළ කමිටුවෙන් දුන් නිර්දේශ කැබිනට් මණ්ඩලයෙන් පවා අනුමතව තිබියදී එය ලබා නොදීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බව පැවසූ ඒ මහතා එය ලබන අය – වැයෙන් දෙන බවට සිය පිරිස රවට්ටමින් සිටින බව කියා සිටියේය.

ලබන වසර සඳහා අය -වැයක් වෙනුවට පරිපූරක ඇස්තමේන්තුවක් පමණක් එන බව ආණ්ඩුව පවසා සිටියදී වැඩි කළ දීමනා කෙලෙස ලබාදෙන්නේ දැයි පැවසිය යුතු බව ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉල්ලුවා. සේවා ව්‍යවස්ථාව ඉල්ලුවම අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය විදිහට සේවා ව්‍යවස්ථාවක් සකස් කර, එය ගැසට් කර බලහත්කාරයෙන් අපට දෙන්න හදනවා. ග්‍රාම නිලධාරී සංගම් වශයෙන් අප ඒ සේවා ව්‍යවස්ථාවට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරීන් වහල්ලු කරගන්න හදන සේවා ව්‍යවස්ථාව අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒක ගැසට් කරන එක නතර කරන ලෙස ඉල්ලනවා. ඒ වගේම දීමනා ටික වැඩි කරන්න කියා දිගින් දිගටම කිව්වා. ඒකට දීමනා කමිටුවක් දැම්මා. දීමනා කමිටුවෙන් තීරණය කර කැබිනට් එකට ගියා. කැබිනට් එකෙන් ඒක අනුමත වුණා. කැබිනට් එකෙන් අනුමත වූ දීමනාව ලබන අය-වැයෙන් දෙනවා කියා දැන් කියනවා. අය-වැයක් නැතිලු. පරිපූරක ඇස්තමේන්තුවක් එන්නේ කියනවා. එතකොට ලබන අය-වැය එන්නේ අලුත් ආණ්ඩුවකින්. මේ කමිටුවෙන් හදපු එක අලුත් ආණ්ඩුවකින් ලබා දෙයිද? අපව රැවටීමක් මේ අය කරන්නේ. දෙන දීමනා ටික වහාම දෙන්න.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT