Home » කෙහෙළිය පාර්ලිමේන්තු වරප්‍රසාදත් අවභාවිත කරලා
ඖෂධ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ් කිරීමට එරෙහි රිට් පෙත්සම:

කෙහෙළිය පාර්ලිමේන්තු වරප්‍රසාදත් අවභාවිත කරලා

by mahesh
June 28, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමට අදාළ දිවුම්රුම් ප්‍රකාශය ඔහු විසින් පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීමෙන් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීමක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (27) දන්වා සිටියේය.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම රිට් පෙත්සමෙන් අධිකරණයට සත්‍ය කරුණු වසන් කර ඇති බවත් එමගින් අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇති බවත් අභියාචනාධිකරණයට දැනුම් දුන් නීතිපතිවරයා සඳහන් කළේ, ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීම පමණක් නොව බන්ධනාගාර පනත ද උල්ලංඝනය කර ඇති බවය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම කරුණු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම රිට් පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේදීය. එම රිට් පෙත්සම අධිකරණයේදී කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය නොමග යවා රජයේ මුදල් වැය කර මෙම ඖෂධ මිලදී ගැනීමට පෙත්සම්කරු කටයුතු කර ඇති බවය.

මෙම ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර එම පෙත්සමෙහි සඳහන් කරුණු බොහොමයක්ම මෙම රිට් පෙත්සමෙහි ඇතුළත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා ඇති අවස්ථාවක එම කරුණ පිළිබදව පහළ අධිකරණයකට පෙත්සමක් ගොනු කිරීම අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කිරීමක් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, එමගින් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බව සඳහන් කළේය.

පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 03 වැනිදා ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවත් මාර්තු 14 වැනිදා නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇති බවත් අධිකරණයට දැනුම්දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග සියල්ල අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම්කරු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් මෙම රිට් පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව ප්‍රකාශ කළේය.

එහිදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රශ්න කර සිටියේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලැබී නොමැති අවස්ථාවක රිමාන්ඩ් නියෝගය රිට් පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ නොහැකි ද යන්නය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එසේ කළ නොහැකි බවත්, එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ යුතුව ඇති නමුත් අභියාචනාධිකරණයෙන් කළ නොහැකි බවත්ය.

පෙත්සම්කරු රිමාන්ඩ් භාරයට පත් කළ දිනයේ සිට බන්ධනාගාර රෝහල්ගතව සිටින අතර එවැනි සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබන්නේ නම් එය බන්ධනාගාර නිලධාරියකු ඉදිරිපිට කළ යුතුව ඇති බව ද ප්‍රකාශ කළේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර කරුණු සලකා බැලීම ලබන ජූලි මස 01 වැනිදා සිදු කිරීමට තීරණය කළේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය, එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT