සංක්‍රාන්තික හා අවදානමට ලක් වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ මේ මාසය (ජූනි) සඳහා විශේෂ දීමනා ගෙවීමට රුපියල් කෝටි 11,600ක (රු. බිලියන 11.6ක) මුදලක් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනකුගේ බැංකු ගිණුම් වෙත මුදාහැර තිබේ.
මේ වැඩසටහනේ පළමු අදියර ලෙස අවදානමට ලක් වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රු. 5,000 බැගින් 2023 ජූලි සිට 2024.03.31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රු. 2,500 බැගින් 2023 ජූලි 2023.12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි. වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවදානමට ලක් වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත. ඒ යටතේ 2024 ජූනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් මේ කාණ්ඩ දෙක සඳහා මාසිකව රු. 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත. ඒ අනුව මේ මාසය සඳහා වන දීමනා පෙරේදා (27) බැංකු ගිණුම් වෙත මුදාහැර තිබේ. එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා සඳහන් කරයි.
අමායා රන්දුනු