මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රය බැලූ විට සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන සියය ඉක්මවා ගොස් ඇත්තේය. රටක් ලෙස මෙන්ම පුද්ගලයන් ලෙස ද අප ‘ජීවන ගමන’ සඳහා ‘රන් එක’ දෙන්නේ ණය ගැනීමෙන්ය. ණය වනාහි මේ කාලයේ හැටියට ආයෝජනයේ එක් ස්වරූපයකි. ඒ ආකාරයට ණයක්, ආයෝජනයක් බවට පත් කර ගත හැක්කේ එය ‘ගත් සැණින්’ භුක්ති විඳීමෙන් නොවේ. ව්‍යාපාරයක් සඳහා ණයක් රැගෙන, එයින් සුඛෝපභෝගී වාහනයක් මිලට ගැනීම වනාහි, ආයෝජන මාදිලියක් නොව සපුරාම පරිභෝජනයකි. ඒ ආකාරයට ණය ගත් රටක මේ වසරේ මුල හරියේ ශේෂ පත්‍රයේ ණය කන්ද, මේ තීරුව ආරම්භය සඳහා සටහන් කරන්නේය.
ආර්ථික විෂයයේ සංඛ්‍යාලේඛන බහුලය. ඒ ආකාරයේ ගණන් හිලව් වැඩිපුර ඇති විෂයයන් සඳහා පාඨකයා රුචි නැති හෙයින් මේ තීරුව අද දවසේ රාජ්‍ය ණය සේවාකරණය වැනි බරපතළ විෂයයක් සාකච්ඡා නොකරන බව පළමුව සැලකිය යුත්තේය. එසේ වූවාට අප ණය ලබාගෙන ‘හොම්බෙන්ම’ ගොස් ඇති හෙයින් තවත් ආකාර කිහිපයකින් ගරාවැටීමට ඉඩ නොදිය යුතුය යන්න මේ තීරුවේ අදහසය.
බර්නර්ස් ලී නම් බ්‍රිතාන්‍ය ජාතික මෘදුකාංග ඉංජිනේරු තෙමේ, 1989 වසරේ මාර්තු මාසයේ එක් දිනයක තොරතුරු කළමනාකරණ පද්ධතියක් සහිත පර්යේෂණ ලේඛනයක් ඉදිරිපත් කළේය. ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේ දී අන්තර්ජාල සම්බන්ධතා මඟින් සිය සේවාදායකයන් යා කර ගැනීමට හෙතෙම සමත් විය. ඒ ආකාරයට තොරතුරු තාක්ෂණය මහා පිම්මක් පනින ලද්දේ මිනිස් ශිෂ්ටාචාරයේ ‘ලෝන්ග් ජම්ප්’ එකක් දමමින්ය. එහෙම ප්‍රයෝජනවත් දෙයක් වංචාවක් කර ගැනීම සඳහාම, මානව සංහතිය ඇතුළේ උපන් ‘වාමන රූප’ ගණනාවක් සිටින්නේය. අන්තර්ජාලයේ මූල්‍ය වංචා සිදු කරන්නේ එවන් ගණයේ වාමනයෝය.
වසර කිහිපයක පටන් ‘ඉන්ටර්නෙට් එකෙන්’ ණය දෙන ගැන්සි බහුලව සිටියහ. එක්කෝ තම ව්‍යාපාරයේ ආයෝජනය කරන ලෙස ඉල්ලා ‘පිරමිඩ ජාවාරම්’ කරන පිරිසකි. ‘වාසි’ යන වචනය මුලට ගත් කල මේ රටේ බොහෝ පිරිසකට උන් හිටි ස්ථානය ද අමතක වන්නාහ. දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ අතේ සතේ නැති දවස් වැඩි බැවින්, කොහෙන් හෝ ‘ඊෂි කෑෂ්’ හමුවේ නම් ඒ සඳහා ඕනෑම ‘කැපවීමක්’ සිදු කරන ගාණට අප නට්ටන්ය.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගෙන, අන්තර්ජාලය මඟින් ඩිලිවරි සේවයක් සිදු කරන බව පවසා කෝටි දාහතක පමණ මුදලකට විදින ලද කණ්ඩායමක් මෑතකදී අධිකරණයට කුදලාගෙන ඒමට පොලිසිය සමත් විය.
දැනට දින හතර පහකට පෙර තවත් ‘අන්තර්ජාල වංචා සෙට්’ කිහිපයක් පොලිසිය අල්ලා ගත්තේය. වෙනදා මෙවන් වැඩ කටයුත්තක් සිද්ධ වන්නේ හැංගි හැංගීය. දැන් වැඩේ යන්නේ ඔෆිස් ආදිය ද මේන්ටේන් කරගෙනය. සීඅයිඩි ය වැටලූ මීගමුවේ මධ්‍යස්ථාන දෙක බාහිරින් බැලූ කල්හි බැංකුවක් වැනිය. එක් එක් සේවකයා වෙත වෙනම කැබින් ආදිය ඇත්තේය. විදේශිකයෝ ද තිහක් පමණ සේවයේ යෙදෙන හෙයින් එය ඉන්ටර්නැෂනල් කොම්පැනියක් සේය. ඒවායෙන් ‘බෙදන පැණිය’ වනාහි මේ රටේ ආර්ථිකයට ද අවුලක් ගෙන දෙන්නේය.
එක් එක් පුද්ගලයා වෙත මෙම අවස්ථාවේදී වංචාවක් වන්නා සේ රටේ ආර්ථිකයටද අගතියක් සිද්ධ වන්නේය. මේ රටේ ඩොලර් කිහිපයක් හෝ එළියට යනවා කියන්නේ අවුලකි. අනික් අතට මේ ආකාරයට රැවටී, ඩොලර් එළියට විසි කරන තරම් ‘සෞභාග්‍යයක්’ අපට නැත්තේය. මේ රටේ ඇති ණය කන්ද අනුව ඩොලර් ටික ප්‍රවේසම් කර ගත යුත්තේය.
එකක් දෙකක් හෝ ඩොලර් ය. අපේ ඇති ණය කන්ද අනුව ඔහොම එකක් දෙකක් එළියට ගියා කියා, අහේනියක් නොවන්නේ යැයි නොසිතිය යුතුය. මේ ආකාරයේ අන්තර්ජාල වංචා සෙල්ලම් දැන් රට පුරා හැම තැනමය. පිරමිඩ ජාවාරම් සඳහා රැවටිය යුතු නැති බව මහ බැංකුව හැමදාම දැනුම්වත් කරන්නේය. එහෙම සිදු කළ ද ඒවා මත්තේම අපේ වැසියෝ නහින්නේය. අවසානයේ වැරදිකරුවා ආණ්ඩුවය.
රුපියල් 5000ක් ආයෝජනය කළහොත් රුපියල් තුන්දාහක ලාභයක් ලැබෙන බව සඳහන් කරමින් ෆෙස්බුකියේ පෝස්ට් යන්නේය. මේ ගැන කොතරම් දැන්වීම් පළ කර දැනුම්වත් කළද ‘ගාණ දුටුවිට’ අසුවන්නේය.
මේවා ජාත්‍යන්තර මට්ටමේ සෙල්ලම් හෙයින් දකින කෙනෙක් දෙවරක් නොසිතා හසුවන්නේය. මීගමුවේ මධ්‍යස්ථානයේ රටවල් අටක සැකකරුවන් 36 දෙනෙක් සිටියහ. ක්‍රිප්ටෝ මුදල් ලෙස එන මේ සෙල්ලම රටවල් ගණනාවක තහනම් කර ඇත්තේය. ඔය වැනි දේ ගැන සොයා බලා කාලයක් ඒ ගැන විමසිල්ලෙන් සිටින්නේ නම්, මේ උගුල් ඇටවීමට නොහැකිය.
මේ මූල්‍ය වංචාකරුවන්ගේ බ්‍රාන්ච් ඩුබායි සහ ඇෆ්ගන් ආදී රටවල පිහිටා ඇත. ඔවුන්ගේ ගනුදෙනුවක් සඳහා එම රටවල් ද යාවෙන හෙයින් තිහක් හතළිහක් නොව පිට්ටනියක් පිරෙන්න සෙනග අත්අඩංගුවට ගත්ත ද සල්ලි යළි ලබා ගත නොහැක්කේය. ඒවා අප විසින් දැමූ විගස බැර වන්නේ ඩුබායි ගිණුම් වෙතය. එහෙම සල්ලි කඳු ගණන් අපේ මෝඩකම නිසා නායයන කල්හි, පළමුව අපි ද දෙවනුව රටද බංකොලොත් වන්නෙමු. ඒ බව අපේ වැසියා සිහියට ගන්නේ නැත.
රුපියල් බිලියන ගණනක මුදල් මේ ක්‍රමවේදයෙන් වංචා කර ඇතැයි පොලිසිය දැන් සැක කරන්නේය. මේ නිසා අල්ලස් නීතිය සේ ‘ගත්ත කෙනාද දුන්න කෙනාද’ යන දෙකම වැරදි ආස්ථානයක් කරා, මේ ජාතියේ රැවටිලි සඳහා නීති සාදා නිම කළ යුත්තේය.