රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කරන මත්ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය, නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩිදියුණු කර විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) බත්තරමුල්ලේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.
කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය ආධාර මත, අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් වැය කරමින් 2022 – 2024 දෙසැම්බර් දක්වා කාලෙය් ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ රසායනාගර පද්ධතිය වැඩිදියුණු කිරීම සිදු කර තිබේ.
දැනට පවතින පරීක්ෂණාගාරවල ඉඩකඩ පහසුකම් වැඩි කරමින් නව පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, පරීක්ෂණාගාර සඳහා නවීන උපකරණ ලබාදීම, පරීක්ෂණාගාරවල උපකරණවලින් ගන්නා දත්ත බාගත කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පුහුණුවීම් ලබාදීම මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
මෙරට නිලධාරීන් අට දෙනෙකු සඳහා අධිකරණ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි ලබාදීම, මත්ද්‍රව්‍ය රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු කරනු ලබන නිලධාරීන් පස් දෙනෙකු සඳහා කොරියාවේ දින හැටක පුහුණුවක් ලබා දීම හා මත්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණ සිදු කරන කොරියාවේ විශේෂඥ නිලධාරීන් මෙරටට පැමිණ පුහුණුවීම් ලබා දීම මේ වන විටත් කර තිබේ. ලබන ජනවාරි මාසයේ ද තවත් නිලධාරීන් පිරිසක් කොරියාවේ පුහුණුවීම් සඳහා යැවීමට නියමිතව ඇත. මෙරට අධිකරණ පද්ධතිය තුළ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ ධාරිතාව ඉහළ නැංවීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
රසායනාගර වැඩිදියුණු කිරීමේ උත්සවය අමතමින් අධිකරණ ඇමැතිවරයා පැවැසුවේ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම හා පහසු කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන බවයි.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ,කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ උප සභාපති YUN LEE YON, කොරියානු ජාතික අධිකරණ වෛද්‍ය සේවයේ අධ්යක්ෂ BON GO LEE,කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) ශ්‍රී ලංකා නියෝජිත Myungin Kim , රජයේ රස පරීක්ෂක දීපිකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් ඇතුළු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
බුද්ධිකා ඉඹුලාන