Home » IMF වලින් ගත හැකි ප්‍රයෝජන අපිම තීරණය කළ යුතුයි

IMF වලින් ගත හැකි ප්‍රයෝජන අපිම තීරණය කළ යුතුයි

එජාප ජාතික මහලේකම් රවි කරුණානායක

by gayan
June 29, 2024 1:00 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු සෑම ගැටලුවකටම පිළිතුරු සැපයිය හැකි ඉන්ද්‍රජාලික ආයතනයක් නොවන බවත්, එම ආයතනයෙන් ගත හැකි ප්‍රයෝජන කවරේද යන්න පිළිබඳව අප විසින්ම තීරණය කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහලේකම්, හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා මේ බව පැවැසුවේ පසුගියදා (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේ ද පැවැසීය.

“අපේ රට මේ වන විට දියුණු සහ හොඳ ආර්ථිකයක් දෙසට ගමන් කරමින් සිටිනවා. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කෙසේ නමුත් ජන ජීවිතය ඒ තරම් පහසුම නැති බව කිව යුතුයි. ඉදිරියේදී ඒ ප්‍රශ්නයත් විසඳෙනවා. පෙරේදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතුවා. එහිදී ඒ මහතා ඉදිරි සැලසුම්, වැඩපිළිවෙළ සහ ඉලක්ක ගැන ජනතාව දැනුම්වත් කළා. රට බංකොලොත්භාවයෙන් එළියට ඇවිත් තිබෙන බව සියලු දෙනාටම පැහැදිලියි. ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කරන්න අවස්ථාව උදාවී තිබෙනවා. එම නිසා ජනතාව රෑ වැටුණු වළේ දවල් නොවැටී ගමන් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුත්තේ රටක් බංකොලොත් වුණාමයි. ඒ අනුව අප ගියා. ඒ හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් එළියට පැමිණෙමින් සිටිනවා. රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටියදී පවා අවස්ථාවාදී, බලලෝභී සහ කිසිම වැඩපිළිවෙළක් නොමැති විපක්ෂය සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවා ජනතාව නොමඟ යවනවා. විපක්ෂයේ මේ කුමන්ත්‍රණවලට ජනතාව යළි රැවටෙන්නේ නෑ.

නිවාසවලට බදු ගහන කතාවක් කියමින් ජනතාව නොමඟ යවා කුලප්පු කිරීමට විපක්ෂය අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා. රජය සෑම නිවෙසකටම බදු ගහන්න යනවා යැයි සමඟි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා කියනවා. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු කරුණු කාරණා දන්නේ නෑ. බොරු කියනවා. මම කියන්නේ මේ වගේ බොරු කියා බිල්ලෝ මවා රට ගිනි තියන්න එපා. වැරදි මත සමාජ ගත කරන්න එපා. මේ බදු හඳුන්වා දුන්නේ බදු ගෙවීම පැහැර හරිමින් අතිසුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අදාළවයි. සෑම නිවෙසකටම බදු ගහනවා කිව්වාම ජනතාවට ක්‍රෝධයක් ඇති වෙනවා. විපක්ෂයට අවශ්‍ය වන්නේ එසේ කර රටේ ගමන අඩපණ කිරීමටයි. මේ ක්‍රියාව ජාතික අපරාධයක් බව කිව යුතුයි. ආර්ථිකය ගැන නිසි අවබෝධයකින් තොරව පටු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කියන මේ කතා නිසා ජනතාව නොමඟ යෑමට ඉඩ තිබෙනවා. එහෙම වුණොත් රටේ ජනතාව යළි අනාථ වෙනවා. රටේ කඩා වැටුණු ආර්ථිකය යළි නොවැටෙන තත්ත්වයට පත් කිරීම අපේ අරමුණයි.”

නෙත්මි පූජනී රත්නායක සහ මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT