Tuesday, May 13, 2025
Home » වෑවලදෙණිය විහාරයේ මිහිඳු මහා පොසොන් පෙරහර මංගල්‍යය අද

වෑවලදෙණිය විහාරයේ මිහිඳු මහා පොසොන් පෙරහර මංගල්‍යය අද

by gayan
June 29, 2024 1:00 am 0 comment

කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානය 83 වන වරටත් පවත්වන මිහිඳු මහා පොසොන් පෙරහර මංගල්‍යය අද (29) රාත්‍රියේ කෑගල්ල නගරයේ විදී සංචාරය කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානය 1762 වර්ෂයේ ආරම්භ වූ අතර එවක කෑගල්ල ගොලහැල අධිකාරම්තුමා විසින් මෙහි මූලිකත්වය ගෙන තිබූ බව පැරණි සටහන්වලින් කියවේ.

සතර කෝරලේ අග නගරය වන කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථාන අතර මේ විහාරස්ථානයට අද්විතීය ස්ථානයක් හිමිවේ. මෙරට අවුරුදු 499ක පමණ කාලයක් විදේශිකයන්ට යටත්ව පැවැති අතර බෞද්ධ නායකයන් අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට මුදාගැනීමට අවස්ථා කිහිපයකදීම සටන් මෙහෙයවා ඇත. ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ පුනර්ජීවයක් මේ රටේ ඇතිවූ අවස්ථාවේ 1937 වර්ෂයේදී බෞද්ධ භික්ෂූන්ට ආගමික අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මහින්දෝදය නමින් මේ පිරිවෙන ආරම්භ කර ඇත. එවකට විහාරාධිපතිත්වය දරා ඇත්තේ අපවත් වී වදාළ පානකාවේ සද්ධානන්ද මහා හිමියන් විසිනි. මහනුවර ඇසළ පෙරහරට දෙවැනි වන කෑගල්ල පොසොන් මහ පෙරහර ආරම්භ වී ඇත්තේ එකී හිමියන්ගේ මඟ පෙන්වීම අනුව 1930 මුල් භාගයේදීය. එවක ප්‍රදේශයේ විසූ බෞද්ධ නායකයන් මේ පෙරහර ආරම්භ කිරීමේ මූලිකයන් ලෙස කටයුතු කර ඇත. මුල් වකවානුවේදී මේ පෙරහර සඳහා අලි ඇතුන් 100 ඉක්මවා සහභාගි වී ඇති බව සඳහන් වේ. එපමණක් නොව අවට වටපිටාවේ ගම්වලින් සංවිධාන වූ අතිරේක පෙරහර ද මේ පොසොන් මහා පෙරහරට සම්බන්ධ වී ඇත. ඒ හේතු නිසාවෙන්ම සතර කෝරලයේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වූ බව සඳහන් වේ.

ඒ සමඟම සිංහල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට ආනන්ද, නාලන්ද, පන්නිපිටියේ ධර්මපාල සහ මහනුවර ධර්මරාජ වැනි විද්‍යාල ආරම්භ වූ අතර ඊට සමගාමීව කෑගලු විද්‍යාලය ද වෑවලදෙණිය විහාරස්ථානයේදී ආරම්භ කර ඇත. ඒ සමඟින් විශාල ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදීම සඳහා දැනට කෑගලු විද්‍යාලය පිහිටි භූමි භාගය තෝරාගෙන එම ස්ථානයේ විදුහල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. අද එහි විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ඊට මූලික වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ විසූ බෞද්ධ නායකයන් සහ ව්‍යාපාරිකයන්ය. මෙවැනි වකවානුවක පවත්වාගෙන ගිය කෑගල්ල පොසොන් මහ පෙරහරට අනුශාසකත්වය දී ඇත්තේ එහි විහාරාධිපතිත්වයට පත්වූ පහත බුලත්ගම කෝරල තුන ඇතුළු සතර කෝරල මහා දිසාවේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ තාඹුගල සෝරත නායක හිමියන් විසිනි. එහි සංවිධාන කටයුතු සිදු කළේ විහාරස්ථාන දායක සභාව සහ ශ්‍රී පුණ්‍යෝදය සමිතියයි. දශක හතරක පමණ කාලයක සිට සමිතියේ සභාපතිත්වය දරන ලද්දේ සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති, වත්මන් උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසිනි. එතුමාගේ කැපවීම නිසාවෙන් එදා සිට මේ දක්වා මේ පෙරහර වර්ණවත් කිරීමට විශාල ප්‍රයත්නයක් දරන බවත් ඊට ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනාත්, ව්‍යාපාරික ප්‍රජාව, පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් පොසොන් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වාගෙන ඒමට හැකියාව ලැබිණි. පෙරහර අලංකාර කිරීමට උඩරට, පහතරට සහ සබරගමු නර්තන කණ්ඩායම් රැසක් සහභාගි වෙයි. ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහාය ලද පෙරහරක් වශයෙන් කෑගල්ල පොසොන් පෙරහර පවත්වාගෙන යෑමට හැකිවී ඇත. තවද දශක 2කට ආසන්න කාලයක් පුරාවට කෑගල්ල වැවලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, පහත බුලත්ගම කෝරල තුන ඇතුළුව සතර කෝරල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දායක සභාව, ශ්‍රී පුණ්‍යෝදය සමිතිය සහ විශාඛා කුලඟන සමිතිය සංවිධාන කරන 83 වන මිහිඳු මහා පොසොන් පෙරහර මංගල්‍යය අද (29) රාත්‍රියේ කෑගල්ල නගරයේ විදී සංචාරය කිරීමට නියමිතය.

වෑවලදෙණිය පුණ්‍යෝදය සමිතියේ සහ විහාරස්ථ දායක සභාවේ උපසභාපති තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT