Home » පෙරහර සමයේ කතරගමට ගෙන එන පොලිතීන් වැනි කැළිකසළ තැන තැන දමා යන්න එපා

පෙරහර සමයේ කතරගමට ගෙන එන පොලිතීන් වැනි කැළිකසළ තැන තැන දමා යන්න එපා

කිරිවෙහෙර නාහිමිගෙන් ඉල්ලීමක්

by gayan
June 29, 2024 1:00 am 0 comment

දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධ වන කතරගම ඇසළ මහා මංගල්‍යය තව දින 8කින් ආරම්භ වෙනවා. ලෝකවාසී සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙවරත් පුදබිමට කිරිවෙහෙර සෑ රඳුන් වඳින්න එද්දී, කතරගම දෙවි හාමුදුරුවන් වඳින්න එද්දී ඔබ රැගෙන එන පොලිතීන් ආදී කැළිකසළ තැන තැන බැහැර කර මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා කියලයි.

කැළිකසළ දැමීමට මෙවරත් අපි විශේෂිත වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අදාළ ස්ථානවලට පමණක්ම කැළිකසළ බැහැර කිරීම කරන්න යැයි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියහ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

ඇසළ පෙරහර මංගල්‍යයේදී විවිධ පළාත්වල සිට ජනතාව මේ කතරගම පුදබිමට එන්නේ මහත් වු ශ්‍රද්ධාවකින්. කිරිවෙහෙර සෑ රඳුන්ගේ, අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් විවිධ භාරහාර ඔප්පු කරන්න.

මේ එද්දී පුදබිමට ඇවිත් වන්දනාමාන කර භාරහාර ඔප්පු කර යන විට ඔබ රැගෙන ආ පොලිතීන් ආදී කැළිකසළ පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කර මේ පුදබිම අපවිත්‍ර කර යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් කළ පින්කම්වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ.

මේ පුදබිමට එන්නේ සැදැහැ සිතින් වගේම වන්දනාමාන කර යළි මේ පුදබිමෙන් යන්නත් ඕනෑ සැදැහැති සිතින්මයි. ඒ තුළ තමයි දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ.

ඒ නිසා මෙවර කතරගම වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජූලි මස 6 වැනි දින සිට 22 වැනි දින දක්වා පැවැත්වෙනවා. ලෝකවාසි සියලු ජනතාවට මේ සඳහා එක්වන්න කියා ආරාධනා කරන ගමන්ම යළි මම සිහිපත් කරන්නේ පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන ස්ථාන වෙතම කසළ බැහැර කරන ලෙසයි.

වෙනත් ස්ථානවලට කසළ බැහැර කිරීම සිදුකරන්න එපා. සෑම වසරකදීම අපි විශාල කැළිකසළ තොගයක් එකතු කරනවා පුදබිමේ තැන තැන ගස් යට දමා ගොස් තිබෙන කසළ. ඒ නිසා නිර්මාංශව, මත්පැන් බීමෙන් තොරව සැදැහැසිතින් යුතුව දෙවියන් බුදුන් වඳින්න එන්න කියන ඉල්ලීම කාරුණිකව කරනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT