Home » ජනපති රනිල්ගේ සුබ ආරංචියට විකල්පයක් නැහැ

ජනපති රනිල්ගේ සුබ ආරංචියට විකල්පයක් නැහැ

විශ්වවිද්‍යාල ආචාර්යවරු කියති

by gayan
June 29, 2024 1:00 am 0 comment

ඉදිරි දැක්මක් ඇති පරිණත දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් සුබ ආරංචියට වඩා මේ රටට වෙන විකල්පයක් නැතැයි මෙරට ආචාර්ය මහාචාර්යවරු පවසති.

ඔවුන් මේ බව කියා සිටියේ රටට සුබ ආරංචියක් මැයෙන් ඊයේ බම්බලපිටිය ලෝරිස් පාරේ පිහිටි මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය අජිත් දිසානායක මහතා මෙසේ ද පැවසීය.

අසමත් රාජ්‍ය සමත් රාජ්‍යයක් කරන්න ඕනේ මේක තමයි සුබ ආරංචිය. මහා ගල් පර්වතයක් වගේ නොසැලී ඉන්න නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ නමැති රාජ්‍ය තාන්ත්‍රිකයා නැති කර ගන්නේ නැතිව රැක ගැනීමට මෙය සුදුසුම අවස්ථාවයි.

බංකොලොත් රටක් මේ තත්ත්වයට ගෙනාවේ වර්තමාන ජනාධිපතිවරයා. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්ම සමඟ තමයි ඔහු කටයුතු කරන්නේ. රනිල්ට කවුරුත් ගල් ගහලා වැඩක් නෑ, බැණල වැඩකුත් නෑ. රනිල් දක්ෂ කෙනෙක්.

මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරා දුෂ්කර පළාත්වලින් පැමිණි අපේ යුතුකමක් මේ රටේ දරුවන් වෙනුවෙන්, හරි දේ වෙනුවෙන් පෙනී සිටීම. මෑත කාලය ගත්විට ශ්‍රී ලංකා ආර්ථිකය මගේ මිනුමට අනුව නම් අසමත් ආර්ථිකයක්. 1958න් පසුව හිඟ අයවැයක අපි ගමන් කළේ. මේ හිඟය අපි පියවා ගත්තේ කොහොමද? නිවෙසක ආදායම් වියදමට සරිලන්නේ නැති නම් දෙමවුපියන් ණය වෙලා හරි දරුවන්ට කන්න බොන්න දෙනවා. මේ නිසා අසමතුලිත ආර්ථිකයක් අපිට තිබුණේ. අපේ රට දූපතක් වුවත් විදේශ රටවල් සමඟ ගනුදෙනු කරනවා. වැවිලි ආර්ථිකය හරහා අපනයන වියදම් වැඩි වෙලා ආනයන ප්‍රමාණවත් වුණේ නැති නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වුණා. රටක් හැටියට අපි අභ්‍යන්තරව වගේම බාහිරවත් අසමත්. ඒ බව අපි පිළිගත යුතුයි. යුද්ධයක් දශක ගණනාවක් තිබුණම මිනී පෙට්ටි ගෙදරට ආවම තමයි එය දැනුණේ. වසර 50කට වඩා අපි අසමත්. එදිනෙදා කටයුතු කරගන්න බැරි වුණා. වාහනය තියෙනවා. ඉන්ධන නෑ. ගෑස් ගන්න සල්ලි නෑ, ඉන්ධන නෑ. ඒවා මිලදී ගන්න ඩොලර් නෑ. විදුලි කප්පාදුවක් තිබුණා. රැකියා අහිමි වුණා. ආර්ථික අර්බුදය හරහා රටේ සැමට දැනුණා අපි දැන්නම් අමාරුවේ වැටිලා කියලා. ඒ නිසයි අරගලයක් කළේ. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඡන්ද 69 ලක්ෂයක් ගත් ජනාධිපතිවරයා හොරෙන් පැනලා යනවා. මේ රට අරාජික රටක් බවට පත් නොකර විවධ පාර්ශ්වයන්ට ආරාධනා කළත් මේ වගකීම ගන්න ඔය කියන කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ වගකීම ගත්තේ වර්තමාන ජනාධිපතිවරයා. රටේ ජනතාවට ඇත්ත කිව්වා. මටත් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා බදු ගෙවන්න වෙලා තියෙනවා. මෙච්චර බදු ගහලත් මේ මිනිහා මෙහෙම කතා කරන්නේ ඇයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. වර්තමානයේ අපිට තිබෙන්නේ ප්‍රශ්න නොවෙයි ගැටලුවක්.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා –

අපි ඉතාමත් අබුර්බදකාරී තත්ත්වයකින් තමයි මේ තත්ත්වයට පැමිණියේ. 2022 අර්බුදයෙන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය අවසානයේ මානසික අර්බුදයක් බවට පත් වී ජනතාවට දුක් විඳීමට සිදු වුණා. කිසිම භේදයකින් තොරව අපි ගෑස් ඉන්ධන කිරිපිට පෝලිම්වල සිටියා. මේ වසර දෙක අපි ගත කරපු කාලය ආර්ථික අර්බුදකාරී කාලයක්. අර්බුදය මානසික අර්බුදයක් බවට පත්වුණා. හැමෝටම මේක සමාජ අත්දැකීමක් ඇතිවුණා. ජනතාව පෝලිම් වෙලා හිටියා. ද්විපාර්ශ්වික ණය හිමිකරුවන්ගේ පණිවිඩය ලබා දුන් සහනශීලි ප්‍රතිපත්ති රාමු තුන අපිට බලපාන්නේ කෙසේද යන්න අපි විමසා බැලිය යුතුයි. රටක් දේශයක් ලෙස ගොඩනැඟීමේ අරමුණ අපි ගොඩනඟාගත යුතුයි. නැත්නම් අපි වැටුණට වඩා ලොකු උගුලකට අපි වැ‍ෙටනවා. පැරිස්වල තිබූ ණය දෙන්නන්ගේ සංගමය ද්විපාර්ශ්විකව ණය කල් දමා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව තිබෙනවා. මේක තමයි සුබ ආරංචිය . මෙකට පයින් ගැහුවොත් වෙන ගමනක් නැහැ. එහෙම නම් විකල්ප කියන්න ඕනෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සෑම රටක්ම සමත් වී නැහැ. ඒත් අසල්වැසි රට ඉන්දියාව සමත් වුණා. ලෝකයේ හතරවැනි බලවතා ඉන්දියාව. ඒ රට දියුණු ආර්ථික ජාත්‍යන්තර ප්‍රතිපත්ති ස්ථිරව ගෙන ආපු නිසා. ජාත්‍යන්තරයේ අපිට කොළ එළි දැල්වී තිබෙනවා. මොන දේ කළත් විවේචනය කරන කණ්ඩායම් ඉන්නවා. අතීත ඉතිහාසයේ ඉඳලම මෙහෙම කළේ. මෙවර එහෙම නොවී කටයුතු කළොත් 2048 වන විට කිසිම ණයක් නොගෙන ඉදිරියට යන්න පුළුවන්.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ තථිකාචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි –

ජනාධිපතිතුමා සුබ ආරංචියක් ප්‍රකාශ කළා. අපි දාසය වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන තියෙනවා. ඒ දාසය වතාවම අපි අසමත් වෙලා තියෙනවා. ෆේල් වුණේ කකුලෙන් ඇදීම නිසාමයි. මහජනතාවගේ ඡන්දය අරගෙන කකුලෙන් අදින්න හොඳ නෑ. බංකොලොත් රටක් මේ තත්ත්වයට ගෙනාවේ වර්තමාන ජනාධිපති. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්ම සමඟ තමයි ඔහු කටයුතු කරන්නේ. රනිල්ට කවුරුත් ගල් ගහලා වැඩක් නෑ, බැණල වැඩකුත් නෑ. රනිල් දක්ෂ කෙනෙක්. රනිල්ට පමණයි ඉදිරි අවුරුදු පහත් කරන්න පුළුවන්.

මහාචාර්ය අජිත් දිසානායක –

දේශය සුරැකීම උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාර්යභාරය අපි තේරුම් ගත්තා. මේ රටේ ජනතාව දරුවන් වෙනුවෙන් පෙනී සිටීම අපේ අයිතියක්, වගකීමක්. කවුරු මොනා කිව්වත් අසමත් රටක් වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය අපි හැමෝටම දැනෙනවා.

ඇස් ඇරුණට පස්සේ මේක බලන්න ඕනෑ. දේශපාලන වෙනසක් සඳහා අරගලයක් කරන්න වුණා. වර්තමානයේ අපිට තිබෙන්නේ අර්බුදයක්. අසමත් රාජ්‍ය සමත් රාජ්‍යයක් බවට පත් කිරීමට දැක්මක් අවශ්‍යයි. මේ අවසාන වතාව කරගෙන අපි ගොඩයන්න ඕනෑ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා –

මේක කඩාගෙන වැටුණොත් තව අවුරුදු හතරකට කලින් හිටපු තැනට යන්න වෙනවා. අපි කරන්න ඕනෑ දේ ජනතාවට දැනුවත් කරන්න ඕනෑ. මේ ණය කවද හරි ගෙවන්න ඕනේ. නිකන් ඉඳලා හම්බු කරන්න බෑ. එතුමාගේ තුන් වැදෑරුම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. විස්සයි 48 දිගු කාලීන සංවර්ධන රටක් බවට ප්‍රකාශ කළා. ඵලදාව අනාගත පරපුරට. රට ඉදිරියට යන්න රට ගැන හිතන රාජ තාන්ත්‍රිකයෙක් අවශ්‍යයි. රට, දේශය ගොඩනඟන්න රට ගැන හිතන නායකයෙක් අවශ්‍යයි. පටු දේශපාලනය අතහරින්න ඕනේ. අපනයන ආර්ථිකයක් අවශ්‍යයි. අපි ඊට ශක්තියක් වෙන්න ඕනෑ. මේ රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ශ්‍රී ලංකා ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යෑම අවශ්‍යයි.

මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරේන්ද්‍ර ලාල් හමල්ගමුව, මහාචාර්ය අජිත් දිසානායක, ආචාර්ය සූරතිස්ස දිසානායක මහත්වරුන් සහ ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමියන් එක්වූහ.

ඡායාරූපය – සුදත් මලවීර

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT