දැරිය තවමත් රෝහලේ
හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තරුණයන් 8 දෙනා අධිකරණය වෙත අද (28) යළි ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 5 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.
අතවරයට පත් වින්දිත දැරිය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (28) පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව යළි කල් තැබීමටද නියෝග කළේය. ඒ අනුව එදින පළමුවැනි සහ තුන්වැනි සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් 6 දෙනා එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවාගැනීම, පැහැරගෙන යෑම සහ නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා 4 යටතේ චෝදනා ගොනු කර මේ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ රණාල ජල්තර ආනන්දපුර පදිංචිකරුවකු වන කංකානුලාගේ මනුජ සස්මික, දැඩිගමුව දැඩිමුත්තුඩුව නානායක්කාර මලිගස්පේ කෝරලගේ විදුර අවිශ්ක, රනාල ජල්තර ගලහිටිය විතානගේ ළහිරු දිල්ෂාන් පෙරේරා, පාදුක්ක බටවල වල්පිට දේවමුනිගේ නිඛිල දුලංජන, දැඩිගමුව ලෙනගල තිලංක විජේතුංග, හේවාමාස්මුල්ලගේ ලිෂාන් නෙත්මිණ අබේවර්ධන, රනාල ජල්තර නිවාස සංකීර්ණයේ කූරගල නවීන් කෝසල, ජල්තර රණාල ආරාම පාර කංකානමගේ අවිශ්ක අනරනාත් ප්‍රියදර්ශන යන අයය.
ඉකුත් පොසොන් පොහොයදා තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවෙස බලා යමින් සිටි 16 හැවිරිදි දැරියක යතුරුපැදියක නංවාගෙන ගොස් ජල්තර සුසාන භූමියේ ඉදි කරමින් පවතින ආදානාගාරයකදී වරින් වර ඇය දූෂණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ සැකකරුවන් හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි