Home » පාසල් සිසුවෙක් හා තරුණයෝ 2ක් නාරිගම පරෙවියන් 22ක් උස්සලා

පාසල් සිසුවෙක් හා තරුණයෝ 2ක් නාරිගම පරෙවියන් 22ක් උස්සලා

වටිනාකම එක්කෝටි 78 ලක්ෂයක්

by gayan
June 29, 2024 1:00 am 0 comment

හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී රුපියල් 1,78,000ක් වටිනා පරෙවියන් 22 දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු සමඟ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

පසුගිය 26 දින රාත්‍රි 11.00ට පමණ යතුරුපැදිවලින් පැමිණි සැකකරුවන් තිදෙනා නාරිගම ප්‍රදේශයේ ගෙවත්තක තිබූ පරෙවි කූඩුවක් කඩා, එහි සිටි පරෙවියන් 22 දෙනා සොරකම් කර ගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සොරකම් කරන ලද පරෙවියන් සැකකරුවන් දෙදෙනකුගේ නිවාස අසල තනා ඇති පරෙවි කූඩුවලට දමා තිබූ බවත්, කිසිවකුට විකිණීමේ අදහසින් එසේ පරෙවියන් සඟවා තිබු බවත් පොලිසිය සඳහන් කළේය. සොරකම් කරන ලද පරෙවියන් පොලිසිය භාරයට ගෙන තිබේ. එක් සැකකරුවකු හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු වන අතර, 19 සහ 20 හැවිරිදි සෙසු සැකකරුවන් දෙදෙනා මීටියාගොඩ පොලිස් වසමට අයත් තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද ⁣පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. හික්කඩුව පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ලලිත් සඳසිරි උප පොලිස් පරීක්ෂක ඩයස්, (පො.සැ) ක්‍රිෂාන්ත (58843), තිලකසිරි ( 39335) යන මහත්වරුන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඊයේ (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT