Sunday, May 11, 2025
Home » සාම විනිසුරන් සඳහා ආචාරධර්ම පද්ධතියට උපදේශක කාරක සභාවේ අනුමැතිය

සාම විනිසුරන් සඳහා ආචාරධර්ම පද්ධතියට උපදේශක කාරක සභාවේ අනුමැතිය

by gayan
June 29, 2024 1:00 am 0 comment

සාමදාන විනිශ්චයකාර ධුරය අවභාවිත කරන පුද්ගලයන් ධුරයෙන් නෙරපාහැරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සඳහන් සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ අනුමැතිය හිමි වී තිබේ.

සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳවද මෙතෙක් සඳහනක් නොතිබූ අතර, නව ක්‍රමවේදයක් ඇතුළත් කර මේ නියෝග සකස් කර තිබේ. සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සැකසූ නියෝග දෙකකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

සාමදාන විනිශ්චයකාරවරුන් අතර සදාචාරාත්මක සහ ආචාර ධර්මීය හැසිරීම ප්‍රවර්ධනය කිරීම මගින් ඵලදායී ලෙස යුක්තිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම සහ දූෂිත භාවිතයන් සඳහා වන අවස්ථා තුරන් කිරීම මේ නියෝගවල අරමුණ වේ. මේ තනතුරේ ගෞරවය සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා සාමදාන විනිශ්චයකාරවරයන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සිවිල් නඩු විධාන සංග්‍රහ පනත, ගෙවල් කුලී නීතිය පරිච්ඡින්න කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සහ නිවැසියන් ආරක්ෂා කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ තලතා අතුකෝරල, නීතිඥ රවුෆ් හකීම්, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, මුදිතා ප්‍රිශාන්ති, තවරාජා කලෙයි අරසන් සහ මංජුලා දිසානායක මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT