වෛද්‍ය හේතු මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන් වෙනුවෙන් රජය පිරිනමන දීමනා සියල්ල ඉදිරියේදීද නොනවත්වාම දෙන බවට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහතික වී තිබේ. සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාගේ කොළඹ පිහිටි කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඒ රණවිරුවන් අදහස් දක්වමින්, දැනට ඔවුන් වෙත වෛද්‍ය මණ්ඩලයක් මඟින් ආබාධ තත්ත්වයන් නිශ්චය කිරීමෙන් අනතුරුව දී තිබෙන සියයට 10 දීමනාව 20% දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සපයා දෙන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඔවුන් වෙත ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, රජය දැනටත් විශාල පිරිවැයක් දරමින් ආබාධිත රණවිරුවන් විශ්‍රාම යනවිට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා අදාළ වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත රණවිරුවන්ගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයන්ට ඊට අදාළ පරිදි වැටුප් හා දීමනා ගෙවීම සහ විශ්‍රාම යන වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවත් මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ට අඛණ්ඩව ඔවුන්ට ලැබිය යුතු වැටුප් හා දීමනා ගෙවීම සඳහා කටයුතු කරන බවත් ඉදිරියේදීත් එම ගෙවීම් කටයුතු නොනවත්වා සිදු කෙරෙන බවත් අවධාරණය කළේය. තවද මේ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් යම්කිසි විෂමතා ඇත් නම් ඒ සම්බන්ධව සංඛ්‍යාලේඛන සොයා බැලීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. මේ සාකච්ඡාවට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වී සිටියහ.
නෙත්මි පූජනී රත්නායක