Home » අම්පිටියේදී සිසුවකුට ගිනි තැබීමේ සිද්ධියේ රිමාන්ඩ් භාරයෙන් පලාගිය සැකකරු සති 3කට පසු කොටු

අම්පිටියේදී සිසුවකුට ගිනි තැබීමේ සිද්ධියේ රිමාන්ඩ් භාරයෙන් පලාගිය සැකකරු සති 3කට පසු කොටු

by gayan
June 29, 2024 1:00 am 0 comment

අම්පිටිය මීකණුව ප්‍රදේශයේදී පාසල් සිසුවකුගේ ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පීඩාකාරී පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියදී පලාගිය සැකකරු දින 21කට පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පසුගිය 5 දින පලාගිය අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් පරීක්ෂණ පවත්වනු ලැබීය.

මොහු මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් යන නමින් හඳුන්වනු ලබන තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සැකකරු 2022 වසරේ නොවැම්බර් 22 දින දී අම්පිටිය මීකණුව ප්‍රදේශයේදී පාසල් සිසුවකුගේ ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පීඩාකාරී පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියේය. මේ සැකකරු ඉකුත් ජූනි 5 දින කිසියම් රෝගයකින් පෙළෙන බව පවසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි. මොහු බන්ධනාගාරයෙන් පලා ගොස් සිටි කාලය තුළදී අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කාන්තාවකගේ ඇස්වලට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා පවුම් දෙකක් බරැති මාලයක් කොල්ල කෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයකු බවද දැනගන්න ඇත. එම සැකකරු මරදාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් මත වන අතර එහිදී ඔහු ව්‍යාජ නමකින් එහි පෙනී සිට ඇති බවද පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා වීමත් සමග වහා ක්‍රියාත්මක වී ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන තිබේ. සැකකරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයට පත් කොට ඇති අතර, මහනුවර සහ මරදාන පොලිසි ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT