මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ පරිවර්තනීය වෙනසක් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හේතු වූ බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි ආයතන 1100ක් රට පුරා ස්ථාපිත බවත් පැවැති සෑම රජයක්ම සෞඛ්‍ය සේවා සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
රුපියල් මිලියන 14ක් වැය කර පළමු අදියර යටතේ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැඟිල්ල ඉදි කර ජනතා අයිතියට පත් කරමින් ඇමැතිවරයා මේ බව ඊයේ (28) පැවසීය. මේ ගොඩනැඟිල්ල සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (28) ජනතා අයිතියට පත්කෙරිණි.
මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් සභාව, කෝට්ටේ නගර සභාව මගින් ප්‍රතිපාදන ලබා දී ඇත. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15ක 90,000කට අධික ජනතාවක් සඳහා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය සේවා ලබා ගනියි.
ප්‍රාථමික මට්ටමක පැවැති මෙරට සෞඛ්‍ය සේවාව විශේෂඥ වෛද්‍ය,වෛද්‍ය,හෙද ඇතුළු 150,000ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය දර්ශක ලොව දියුණු රටවල මෙන් ඉහළ අගයකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
ප්‍රාථමික සෞඛ්‍ය ආයතන ශක්තිමත් කිරීමෙන් ද්විතීයික සෞඛ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා කීය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉනෝකා ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ශාලිකා එස්.රණවීර මහත්ම මහත්මීන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න