මුහුදේ පාවෙමින් තිබිය දී අපිට හමු වූ බෝතලයේ ලීටර් 5ක් පමණ ද්‍රව්‍ය තිබුණා. අපි බීලා ඉතිරිය අප ආසන්නයේ ගමන් ගත් වෙනත් බෝට්ටුවක සිටි ධීවරයන් පිරිසකට දුන්නා. නමුත් ඔවුන් එය පානය නොකර යළි මුහුදට විසි කර ඇතැයි “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට වෙත යොමු කර සිටිය දී පවසා තිබේ.
මෙම දියරය අඩංගු බෝතලයේ මුද්‍රා කඩා තිබුණාද නැතිද යන්න තමන්ට පැහැදිලි මතකයක් නැති බව ද හෙතෙම කියා ඇත. මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් බෝතලයක තිබී කිසියම් පාන වර්ගයක් බීම හේතුවෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම ධීවරයා ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව මඟින් ඊයේ (01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර තිබිණි. මෙසේ රෝහලට ඇතුළත් කර ඇත්තේ අම්බලන්ගොඩ බැරගම හතරඇල පදිංචි පී.ජී.සුජිත් කුමාර (42) යන තරුණයෙකි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘දිනමිණ’ට පැවසුවේ නාවික හමුදාව විසින් ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි.
රෝහල් ගත කර ඇති ධීවරයා මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් නොමැති බවත් ඔහු විජලන තත්ත්වයෙන් පෙළෙන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටින බව ද හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය ‘දිනමිණ’ට පැවසුවාය. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් ජුනි මස 30 වැනි දින මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයකු ‘MV KOTA CAMIL’ නෞකාව තුළ දී ජීවිතක්ෂයට විය.
අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව වෙත ජුනි මස 30 වැනි දින සන්ධ්‍යාවේ දී දෙවුන්දර සිට නාවික සැතපුම් 170ක් (කිලෝමීටර් 314ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් බාර ගැණිනි.
එම ධීවරයා වෙත විජයබාහු නෞකාවේ දී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම මඟින් හදිසි ප්‍රතිකාර ලබා දෙමින්, ඊයේ (30) උදෑසන (01) මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. මෙම බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වැනිදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට ඇත්තේ ධීවරයන් 6 දෙනෙකුද සමඟිනි. ඔවුන් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කර ඇත. ඉන් පසුව ඔවුන් රෝගාතුර වී ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදීම මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කීපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත, 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව, 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනාය. ඩෙවෝන් 05 ධීවර යාත්‍රාව සහ එහි තුළදී මිය ගිය ධීවරයන් හතර දෙනාගේ සිරුරු මේ වන විට දිවයිනට රැගෙන එමින් පවතින් බවත් ඒ සඳහා දින දෙකක කාලයක් ගතවන බවත් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කරයි.
එම ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇති හෙයින් වෙනත් යාත්‍රාවකින් ගොඩබිමට ඇද ගෙන එනු ලබන බවත් මියගිය ධීවරයන්ගේ සිරුරු එහි පවතින බවත් කීවේය.
ඊයේ (01) නාවික හමුදාව විසින් රැගෙන ආ විදේශීය වෙළෙඳ යාත්‍රාව තුළ මිය ගිය ධීවරයාගේ සිරුර හම්බන්තොට රෝහලට බාරදී ඇති අතර එම සිරුර එහි මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.