වනාතවිල්ලුව පොලිස් බලප්රදේශයට අයත් වට්ටකන්ඩල් ප්රදේශයේදී සංවිධානාත්මක පිරිසක් විසින් කඩුවලින් සහ පොලුවලින් සිදු කළ පහරදීමකින් බරපතළ තුවාල ලබා එක් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කරයි.
මෙම සංවිධානාත්මක පිරිස විසින් කඩු සහ පොලු රැගෙනවිත් තුවාලකරුට බරපතළ ලෙස පහරදීමෙන් ඔහුගේ එක් පාදයක් සහ අත් දෙකට බරපතළ තුවාල සිදුවීමෙන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි. මෙසේ තුවාල ලබා ඇත්තේ වට්ටකන්ඩල් ප්රදේශයේ පදිංචි මොහම්මදු තාහීර් මොහොම්මදු කාමල් නමැති 42 හැවිරිදි විවාහයකු බව පොලිසිය පවසයි.
වසර ගණනාවක සිට පැවැති කෝන්තරයක් මුල්කර ගනිමින් මෙම ගැටුම හට ගෙන ඇති අතර, තුවාලකරු ද ඔවුන් සමඟ උරණවී වචන හුවමාරුවක් කටින්කට යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළේය.
මෙම පහරදීම සඳහා හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන් මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මව සහ පියා මෙම ගැටුමේ සැකකරුවන් වන අතර, එම දෙපල වනාතවිල්ලුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පුත්තලම මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනෙකුත් සැකකරුවන් මේ වන විට ප්රදේශයෙන් පලාගොස් ඇති අතර, වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් ඔවුන් සොයා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.