කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගර මධ්‍යයේ ඊයේ (01) දින අලුයම යතුරුපැදියක් මාර්ගයේ මැද තිබූ විශාල මල් පෝච්චියක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තවත් එක් තරුණයකු බරපතළ තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන සේවකයන් තිදෙනෙකු වන තඹලපැලැල්ල කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර 39 හැවිරිදි අයෙකු සහ ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි දිලංක ප්‍රදීප් අත්තනායක 27 හැවිරිදි තරුණයකු බව ගලේවෙල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබන්නේ සරත් රූපසිංහ නැමැති 41 හැවිරිදි අයෙකු බවද ඔහුගෙන් නිසි ප්‍රකාශයක් ලබා ගැනීමට පවා නොහැකි තත්ත්වයෙන් පසුවන බව පොලිසිය සඳහන් කළේය.
කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට අලුයම 2.35ට පමණ යතුරුපැදියකින් මෙම තිදෙනාම ගමන් කරමින් තිබියදී මාර්ගය මැද අලංකරණය සඳහා තබා තිබූ මල් පෝච්චියක යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයේදීම තරුණයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පක්ෂණවලදී හෙළි වී තිබේ. මියගිය පුද්ගලයන් දෙදෙනාගේ දේහයන් මේවනවිට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා පැවැසීය.
වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන මෙම තිදෙනා අලුයම් කාලයේ සේවය නිමවා නැවත ගමන් කරමින් සිටියේ ද, එසේත් නොමැති නම් වෙනත් කටයුත්තක් සඳහා පිටත්ව ගියේද යන්න නිසි තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් අනතුරට හේතුව කුමක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගලේවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු පවසති.