අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට ලද තොරතුරක් අනුව නිවසක් වැටලූ පොලිස් නිලධාරින්ට සපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා සිදුකර පිඟානකින් පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව අඟුරුවාතොට පොලිසිය කියයි.
ගල්පාත බටගොඩ රණවිරු ගම්මානයේ දෙවන පටුමඟ නිවසක අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සමන්විත නිලධාරින් පිරිසක් එම නිවස පරීක්ෂාව සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි.
එහිදී ප්‍රධාන ජාවාරම්කරුගේ පියා සහ සහෝදරයා විසින් නිලධාරින්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදී සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා සිදුකර ඇත. ප්‍රධාන ජාවාරම්කරුගේ පියා විසින් පිඟානකින් උප පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති අතර, පහර දීමෙන් සුළු තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. පලා ගිය එකම පවුලේ සැකකාර පියා සහ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇත. අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ.