පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් හා දේශපාලන පක්ෂ හා සංවිධාන දහඅටක් සමඟ එක්ව මානුෂීය ජනතා සන්ධානය නමැති දේශපාලන සන්ධානයක් බිහි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම අත්හිටුවීම සිදු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කරනු ලැබූ ලිපිය ලැබී දින 07ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඉදිරි විනය කටයුතු සිදු කරන බව දිසානායක මහතා කීවේය.
දින 07ක කාල සීමාව තුළදී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් නිදහසට කරුණු නැති ලෙස සලකා ඉදිරි විනය පියවර ගැනීමට සිදුවන බව එම ලිපියෙන් දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇති බව දුමින්ද දිසානායක මහතා පැවැසීය.
මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන අනුව දයාසිරි ජයසේකර මහතා එම සන්ධානයේ නායකයා ලෙස තේරී පත්ව ඇති බව සනාථ වී ඇති බව ජයසේකර මහතා වෙත යොමු කර ලිපියෙන් පෙන්වා දී ඇති බව මහලේකම්වරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන දයාසිරි ජයසේකර මහතාට මෙවැනි නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඍජුව හෝ වක්‍රව සහයෝගය දීමට හෝ එවැනි සන්ධානයක නායකත්වය, නිලතල හෝ සාමාජිකත්වය ලබා ගැනීමට කිසිදු අයිතියක් නැති බවත් එසේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ වෙත කිසිදු අනුමැතියක් හෝ අවසරයක් දී නැති බවත් එසේ කටයුතු කිරීමට ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී මෙන්ම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බව එම ලිපියෙන් පෙන්වා දී ඇති බවත් ඒ මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ (2018 සංශෝධිත) 15 (ඇ) වගන්තියට අනුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකී ව්‍යවස්ථාවේ 16 (ix) වගන්ති ප්‍රකාරව සභාපතිවරයා වශයෙන් තමන්ට පැවරී ඇති බලතල අනුව පක්ෂයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන බව එම ලිපියෙන් දන්වා ඇති බව දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
මේ අවස්ථාවට ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, මාධ්‍ය ප්‍රකාශක, හිටපු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහත්වරු එක්ව සිටියහ.