Home » රාජවරෝතියම් සම්පන්දන්ගේ ශේෂ පත්‍රය

රාජවරෝතියම් සම්පන්දන්ගේ ශේෂ පත්‍රය

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ජීවිතයේ දසවැනි දශකය ආරම්භ කරමින් සිටියදී නැසීගිය රාජවරෝදියම් සම්පන්ධන්ගේ දේශපාලන ජීවිතය අඩසියවසකට ආසන්නය. හෙතෙම ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායක බවට පත්විය.

සම්පන්දන්ගේ දේශපාලන ප්‍රවිෂ්ටය සඳහා මාවත විවර වන්නේ චෙල්වනායගම් සහ ෆෙඩරල් පක්ෂය යන අන්තයෙනි. චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ආරම්භ කරන ලද්දේ ජී. ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉවත් වෙමිනි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීමත් සමඟ එක් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සංවිධාන වීම සඳහා පියවර තබන ලද්දේය. බෙදීම් හැකිතාක් අඩු කර ගනිමින්, සියලු ජනවර්ග සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් ඇති කිරීම අගමැති සේනානායකගේ අභිප්‍රාය විය. ඩී.එස්. සිය පක්ෂය පමණක් නොව ආණ්ඩු බලය පවා ඒ වෙනුවෙන් පාවිච්චි කළේය. ‘පනහට – පනහ’ ඉල්ලූ ජී.ජී. පොන්නම්බලම් වැනි නායකයෝ වෙනම සංවිධානගත වීම රටේ අනාගතයේ බරපතළ ප්‍රශ්නයක් ඇති කරන්නේ හෙයින් එවන් පුද්ගලයන් වෙත ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වීමේ අවස්ථාව අගමැති සේනානායක විවර කර දෙන්නේ ඒ අර්ථයෙනි.

දෙමළ දේශපාලනයේ කවදත් තොටිල්ල වූයේ වර්ගවාදයය. වර්ගවාදී මනස් දිගටම චූන් එකේ තබා ගත් විට. සංවර්ධනය වැනි ක්‍රියාදාම පහව යන්නේය. ජනතාව වෙත සේවය කිරීම වෙනුවට ජනතාවගේ හැඟීම් සඳහා ආමන්ත්‍රණය පහසු කාර්යයකි. කොළඹ – අනුරාධපුර පාරේ, සීමාව පැන්න සැණින්, කබාය ගලවා, වේට්ටිය ඇඳගන්නා දෙමළ දේශපාලනඥයෝ, උතුරේදී වෙනම චරිතාංග නළුකමක් සඳහා පිවිසෙන්නාහ. එතැන් සිට ඔවුහු මේ රටේ දේශපාලනය සඳහා වර්ගවාදී ගිනි පිඹීම සිදු කරන්නාහ.

සේනානායක ආණ්ඩුවට පොන්නම්බලම් එකතු වූ සැණින්, චෙල්වනායගම්, වන්නියසිංහම්, නාගනාදන් වැනි ප්‍රබලයෝ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන දේශපාලන පක්ෂයේ බලය තවත් ශක්තිමත් කර ගත්හ. ෆෙඩරල් පක්ෂය ලෙස උතුරු සහ නැඟෙනහිර දෙපළාතෙන් පිටදී මෙම පක්ෂය නාමකරණය වූයේය. සත්‍ය නාමය වූයේ දෙමළ රාජ්‍යය පක්ෂය යන්නය. වසර තිහක යුද වියරුවක් සඳහා පුලිඟුව දල්වන්නේ එතැනින්ය. ආර්. සම්පන්දන්ගේ දේශපාලන ආරම්භය ලකුණු වන්නේ දෙමළ රාජ්‍ය පක්ෂයෙනි. යම් හෙයකින් හෙතෙම පොන්නම්බලම් සේ එජාපය වැනි ප්‍රබල පක්ෂයකට සම්බන්ධ වූයේ නම්, මේ රටේ වර්ගවාදී ගිනි දැල්ල නිවා දැමීම සඳහා අපමණ සේවයක් කළ හැකි දේශපාලනයක් ඔහුගෙන් ඉටු වෙනවා ඇත්තේය.

මේ රටේ විපක්ෂ නායක තනතුර සඳහා පත්වූ දෙමළ දේශපාලන නායකයෝ දෙදෙනාම සිය හිරිමල් දේශපාලනය, වර්ගවාදී කඳවුරෙන් ආරම්භ කර පවත්වාගෙන ගියහ. යම් හෙයකින් ඔවුහු ජාතික දේශපාලනය සඳහා එක් ජාතියක් යන විරුදාවලිය යටතේ එක්වූවා නම් මේ රටේ කතාව යුද බිය, බෙදුම්වාදය නොමැති අලංකාර පරිසරයක් සමඟ බද්ධ වෙනවා ඇත.

එල්ටීටීඊයේ දේශපාලන අංශය ලෙස රූකඩ සෙයියාවෙන් ක්‍රියා කරන පක්ෂයක් බවට පත් නොවී, ජාතික දේශපාලනයේ එක් ජාතියක් යන සාමග්‍රී ස්වරූපය නියෝජනය කළේ නම් ආර්. සම්පන්ධන් වෙත සිය නම ලක්ෂ්මන් කදිරගාමර්ගේ නාමය අසලම ජනගත කර ගැනීම සඳහා පහසු ඉඩක් තිබුණේය.

ඒ සඳහා හැම අතින්ම සුදුසුකම් සම්පන්දන් වෙත තිබුණේය. ඔහු නැඟෙනහිර නියෝජනය කළ චරිතයකි. නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය යනු ජනවර්ග සම්මිශ්‍රණයකි. ඒ පොළොවේ දේශපාලනය හැම කල්හිම ඉල්ලා සිටියේ සමගි සමාදානය මිස, වැඩි පංගුවේ බලය නොවේ. උතුරේ උපන් අයෙක් වෙත මේ සුවඳ නොදැනෙන්ට ඉඩ තිබූ මුත් සම්පන්ධන්හු උපදින්නේම ඒ සුවඳ විඳ විඳය.

සම්පන්දන්හු පාසල් හතරක අධ්‍යාපනය ලබන්නාහ. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය යන එම පාසල් පිහිටා තිබුණේ පළාත් හතරකය. ඒවායේ ජනවර්ග සහ භාෂා මිශ්‍රණය විවිධය. මේ ආකාරයේ සම්මිශ්‍රණයක් අත්දකින ලද දෙමළ ජනවර්ගයේ නායකයෙක් ලෙස ඔහුට අන්තවාදය ඉක්මවා ගිය දේශපාලන කතිකාවතක් සඳහා ඇලුම් කිරීම ‘ඇඟෙන්ම’ ඇතිවිය යුතුව තිබුණි. එවන් අවස්ථාවක් සම්පන්ධන් සූරීන් වෙත නොව අවසානයේ රටට ද අහිමිව ගියේය.

මේ රටේ වයස්ගතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස එතුමෝ සමුගෙන ගියහ. රෝද පුටුවේ සිට ද දේශපාලනය කරගෙන ගියහ. වැඩිහිටියන් වෙත ගරු කිරීමට දත් දෙමළ සමාජය, ඒ වයෝවෘද්ධ, තපෝවෘද්ධ ගුණයට ගරු කළේය. ‘නාකි සයිමා’ වැනි නිග්‍රහාත්මක ආමන්ත්‍රණ යොදා ඒ ගරු කටයුතු දේශපාලනයට අවමන් නොකළේය. එල්ටීටීඊ ත්‍රස්ත උවදුරෙන් රට බේරා ගත් සහ සියලු ජාතින්ට අභය දානය ලබාදුන් මහින්ද රාජපක්ෂ ‘නාකි මයිනා’ ලෙස සිංහල සමාජයේ මාක්ස්වාදී කොටස් පාච්චල් කරද්දී, රාජවරෝදියම් සම්පන්දන් වෙත දෙමළ සමාජය සමච්චල් කළේ නැත. වැඩිහිටියාට සහ නායකයාට ගරු කිරීමේ පුරුද්ද එම සමාජය තවම දරා සිටීමේ ගුණයට මේ තීරුව ප්‍රශංසා අභිමුඛය.

1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී ත්‍රිකුණාමලය ආසනයේ දෙමළ රාජ්‍ය පක්ෂයේ අපේක්ෂකයා වූ එයින් ජයග්‍රහණය කළේය. එවර විපක්ෂ නායක භූමිකාව භාරගන්නා ලද්දේ අප්පාපිල්ලේ අමිර්තලිංගම්ය. එවන් ආස්ථානයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේදී ලද දෙමළ නායකයෝ, අහක යන ලෙඩක් දමාගෙන පාර්ලිමේන්තුව වර්ජනය කළහ. දෙමල වර්ගවාදී ත්‍රස්තවාදීන්ට බියවී පාර්ලිමේන්තුව වර්ජනය කළ පක්ෂ නායක අමිර්තලිංගම් වෙඩි කා මියයන්නේය. එම වෙඩි පහර එන්නේ, ඔහුගේ ජාතියෙන් මිස ඔහු, සතුරා ලෙස සැලකූ සිංහල පාර්ශ්වයෙන් නොවේ. ඒ මොහොතේ සම්පන්ධන් ද පාර්ලිමේන්තුව වර්ජනය කළ හෙයින් මන්ත්‍රී ආසනය අහිමිව ගියේය. පසු කලෙක කුමන හෝ දේශපාලන ස්ථාවරයක් මත සිට මේ පිරිස පාර්ලිමේන්තු පැමිණීම අගය කළ යුත්තේය. ඒ මත්තේ මේ රටේ සංවාදයෙන් යන දේශපාලන කතිකාව පණ ලද්දේය.

ආර්. සම්පන්දන් ගැන සපුරා විචාරයක් කිරීම් සඳහා තවම කල් වැඩිය. ඔහුට ජාතියක් ලෙස සමුදෙන මොහොතේ ඔහුගේ ශේෂ පත්‍රය අතට ගෙන ඉදිරි දේශපාලනයේදී හෝ දෙමළ ජන වර්ගයේ දේශපාලන නායකයෝ වර්ගවාදය අත්හැර කටයුතු කරන්නේ නම් යෙහෙකි යන්න අපගේ යෝජනාවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT