කළුතර දිස්ත්‍රික්කයට තිබෙන්නේ ගංවතුර සමඟ බැඳි ප්‍රදේශයකි. කළු ගඟ, කුඩා ගඟ සහ බෙන්තර ගඟ ඇතුළු ගංගා ඇළ දොළ රැසක් නිසා කළුතර දිස්ත්‍රික්කය තුළ ගංවතුර අනතුර කාලයක සිට ඇති විය. ඒ අනතුර නිසා අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, බදුරලිය, මතුගම සිට ඉන් පහළ ඇති ගල්පාත, නාගොඩ, දොඩන්ගොඩ දක්වා වූ ප්‍රදේශ තුළ ගංවතුර ගලා ගියේ ජන ජීවිතයට හෝ වගාවන්ට මාරාන්තික හානියක් නොකරමිනි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අතීතයේදී ඇතිවූයේ අහිංසක ගංවතුරකි. එහෙත් ඒ තත්ත්වය වෙනස් වීමට කළුතර සාමාන්‍ය ගංවතුර තත්ත්වය සැඩ පහරක්ව ජන ජීවිතය ගසාගෙන යාමට තරම් ප්‍රබල වූයේ ඇයිද යන්න සලකා බැලිය යුතුය. මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දක්වන්නේ විවිධ මතවාදයන්ය. අප කළ සොයා බැලීම්වලට අනුව 2003 වර්ෂයට පෙර වසරකට සිව්වතාවකට වඩා බුලත්සිංහල ඇතුළු ප්‍රදේශවලින් කුඩා ගඟ පිටාර ගැලූවද එය අඩියක දෙකක ගංගා පිටාර ගැලීමක් පමණි. එයින් හානියකට වඩා සිදුවූයේ වගා සරුවීමකි. එනිසා එදවස ගංවතුර පිළිබඳව සමාජය තුළ අනිසි බියක් හෝ චකිතයක් තිබුණේ නැත. පැරැන්නන් සඳහන් කරන ආකාරයට කළුතරට ගංවතුර මහා ගංවතුරක් බවට ගලා ගොස් ඇත්තේ 1947 වර්ෂයේදී පමණි. ඉන්පසු හැත්තෑව දසකයේ අගද මහා ගංවතුරකින් කළුතරට හානි සිදුව තිබේ. ඉන්පසු කළුතර දිස්ත්‍රික්කයට දැඩි හානි සිදුවූ ගංවතුර ගලා එන්නේ 2002 වර්ෂයේදීය. ඉන්පසු නැවතත් 2017 දී ගැලූ ගංවතුර කෙතෙක් බලසම්පන්නද යත් බුලත්සිංහල ආසනයේ මදුරාවල වැනි ප්‍රදේශවලදී ගංවතුර ගලා ගලා ගොස් තිබෙන්නේ නිවාසවල වහල පවා ජලයේ ගිල්වමිනි. තවත් තැන්වල ඉතිරිව තිබුණේ පොල් ගස් කරටි පමණි. ඉන්පසු නැවතත් පසුගිය මාසයේදී බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ හරහා ගලා ගියේද එවැනිම මහා ගංවතුරකි. දැන් නිතර නිතර ඇතිවන ගංවතුර නිසා බුලත්සිංහල ජනතාව අසරණ වූ තත්ත්වය කෙතෙක් ද යත් අප එම ප්‍රදේශවල කළ සංචාරයේදී දැක ගැනීමට හැකියාව ලැබුණි.
දසත තිබුණේ විනාශ වී ගිය වගා බිම්ය. කුඩා තේවතු ගංවතුර නිසා දැඩි හානියට පත්ව තිබුණේ නැවතත් දලු නෙළා ගැනීමට නොහැකි ලෙසය. අන්නාසි වගාවන් ද විනාශව ගොස් තිබුණේ ගංවතුරට යටවීම නිසාය. කුඹුරු ගැන කතා කිරීම පවා නිශ්ඵලය. අපට දැක ගන්නට ලැබුණේ බැලූ බැලූ අත සෝදා පාළුවට ගිය කුඹුරුය. ඇතැම් කුඹුරු අවුරුදු ගණනක සිට පුරන්ව ගොස්ය. ඒ අප සඳහන් කළේ අප සියැසින් දුටු දේය. ආගන්තුක අප පැය කිහිපයක් ඇතුළත මේ හානිය දුටුවේ නම් මෙම ප්‍රදේශයේ ජනතාව මේ තත්ත්වයට කෙතරම් දුරට මුහුණ දෙනවාද එයින් ඔවුන් කෙතරම් දුරට පීඩාවට පත්වන්නේද යන්න සලකා බැලිය යුතුය. ඔවුන් මෙම ගංවතුර තත්ත්වය පිළිබඳවත් එවැනි තත්ත්වයන් නිතර නිතර ඇති වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව දක්වන අදහස් මෙසේය.
අප එහිදී අප මුලින්ම හමුවූයේ පරගොඩ ප්‍රදේශයේ වාසය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන සිරිදියස් මහතාය.
‘2017දී මේ වගේ ලොකු ගංවතුරක් ආවා. එදා අපේ ගේ වහල මට්ටමට වතුර ආවා. මට අවුරුදු හැත්තෑවක අතීතය මතකයි. ඒත් 2001 වර්ෂය වෙනකම් මේ විදිහෙ තත්ත්වයක් තිබුණේ නැහැ. කුකුළේ ගඟ ව්‍යාපෘතියෙන් පසු මේ ගංවතුර තත්ත්වය ඇතිවන බවට ගොඩක් අය කියනවා. මටත්, හිතෙනවා. ඒ ගංවතුර තර්ජනය උග්‍ර වීමට මෙයත් එක හේතුවක් කියලා. සිරිදියස් මහතාගේ බිරිය වන කරුණාවති මහත්මිය දක්වන්නේ ද සිරිදියස් මහතාට සමාන අදහසකි. ඇය විවාහපත්ව පැමිණ අවුරුදු පනහකට වැඩිය. ඒ කාලය තුළ ලොකුම ජල ගැලීම් දෙකක් ඇය විසින් දැක තිබේ. 2017 සහ 2024 ගංවතුර දෙක ඒවාය. ඇය ද සඳහන් කරන්නේ 2000 දසකයේ මුල් කාලයේදී කුකුළේ ගඟ ව්‍යාපෘතිය ආරම්භ වූ පසුව මෙම ගංවතුර තත්ත්වය උග්‍ර වූ බවය.
නිශාන් පෙරේරා මහතා මෙහි සිටින තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහුට ඇත්තේ මෙවැනි මතයකි.
‘මම හිතන්නේ අද ඇතිව තිබෙන අධික ජල ගැලීම් තත්ත්වයට එක් හේතුවක් විදිහට කළුතර දිස්ත්‍රික්කටය ඉහළින් තිබෙන කුකුළේ ගඟ යෝජනා ක්‍රමය නිසා කියලා. මම කියන්නේ දැන් කළ යුතු දේයි, අතීතයට දොස් පැවරීමෙන් වැඩක් නැහැ අනාගතයට මුහුණ දීමයි කළ යුතුව තිබෙන්නේ. මේ ජලාශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ජල හිඟය තිබෙන හම්බන්තොට, මොනරාගල වගේ ප්‍රදේශවලට මේ වතුර හරවන්න පුළුවන් නම් කළුතරට හානි කරමින් නිකරුණේ ගලාගෙන යන එක වළක්වන්න පුළුවන්.

අවදානමට සූදානම
අද තත්ත්වය අනුව පොඩි වැස්සක් අපි යන පාරවල් ගොඩක් යටවෙනවා. ඒ තත්ත්වය තුළ සිදුවන්නේ අපට රැකියාවකටවත් යන්න බැරි විදිහට අපි ගම්වල කොටුවීමයි. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ නිතර ජලයයෙන් යටවන ස්ථානවල මාර්ග ඉස්සීම කරන්න පුළුවන්නම් සුළු ගංවතුර තත්ත්වයකදී පවා මාර්ග යටවීම වගේම ගංවතුරට කොටුවීම තුළ සිදුවන අපහසුතා නවතා ගැනීමට පුළුවන්. ඒ නිසා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ යෝජනාව පිළිබඳ සොයා බලන ලෙස.
අප සමඟ අදහස් පළ කළ රෝහණ චන්ද්‍රලාල් මහතා ද අප වෙත දක්වන ලද්දේ නිශාන් දැක්වූ අදහසටම සමාන අදහසකි.
ඔහු එහිදී අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අදහසකි. ‘මේක සාමාන්‍ය ගංවතුර තත්ත්වයක් නොවෙයි, එකපාරටම වහල මට්ටමද ඉක්මවා යන තරම් වතුරක්. ඇත්තෙන්ම සමහර වෙලාවට බඩුමූට්ටු ටිකවත් අයින් කරගන්න වෙලාවක් නැහැ. අද වෙද්දි මේ ඉඩම්වලට තිබූ වටිනාකම ගොඩක් පහළ ගිහින්. ඒ වගේ තත්ත්වයක මෙහි ගම්වැසියෝ ඉතාම අපහසුතාවට පත්වෙලා ඉන්නේ.
ආර්.වී.ජයවතී මහත්මිය මෙන්ම ගීතාකාන්ති මහත්මිය ද ගමේ කුඩා ව්‍යාපාරික ස්ථාන දෙකක් පවත්වාගෙන යන්නියන්ය. නිතර ඇතිවන ගංවතුර නිසා නොව නිතර ඇතිවන මහා ගංවතුර තත්ත්වය නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්වෙති. තම ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යාම ඔවුනට දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ.
ලසන්ත නාගහසූරිය තරුණයෙකි. ප්‍රජා නායකයෙකි ඔහු සඳහන් කරන ආකාරයට දැන් බුලත්සිංහල ප්‍රදේශයේ සමස්ත ග්‍රාමීය ආර්ථිකයම බිඳවැටී තිබේ. මෙහි වාසය කරන්නන්ගෙන් අති බහුතරය කෘෂිකර්මය, දෛනික රැකියා ඇතුළු අවිධිමත් ආර්ථික ක්‍රම මඟින් සිය යැපුම පවත්වාගෙන යන්නන්ය. වැඩිම හානිය ඔවුනටය. ගංවතුර බැස ගිය පසු ආධාර ගලා ආවද සියලු ආධාර සතියක් ඉක්ම ගිය පසු නවතී. එහෙත් ගැමියන්ගේ කඩාවැටුණු ආර්ථිකයට පිළියම් කිරීමට තව බොහෝ කාලයක් ගතවේ. අවුරුදු කිහිපයකට වරක් ඇතිවන මහා ගංවතුර නිසා මහා කඩාවැටීමකට ලක්වන්නේ ගැමියන්ගේ ආර්ථිකය තත්ත්වයය. ලසන්ත නාගහසූරිය සඳහන් කරනු ලබන මේ තත්ත්වය දැඩි අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.
අස්ගිරියේ ධමිමින්ද හිමි ඇතිව තිබෙන තත්ත්වය ගැන මෙසේ සඳහන් කරති.
‘අපේ ජනතාව ජීවත්වන ප්‍රධාන ජීවන මාර්ගය තමයි තේ කර්මාන්තය. එදා තිබුණු රබර් වතු ගලවලා තමයි තේ වගා කළේ. ඒත් අද ඇතිව තිබෙන තත්ත්වය නිසා මේ සියලු අංශ කඩා වැටිලා, අද ගලන්නේ අසාමාන්‍ය ගංවතුරක්. මේ විදිහේ ගංවතුරකට ප්‍රධාන හේතුව අධික වර්ෂාව විතරක් නොවෙයි, 2000 අවුරුද්දට කලිනුත් මේ ප්‍රදේශවලට අද වගේ නිතර මහා ගංවතුර තත්ත්ව ඇති වුණා. අද ලයිට් කණු උඩින් යන තරමේ වතුර පාරවල් එන්නේ. මේ තත්ත්වය ඇතිවුණේ කුකුළේ ගඟ ව්‍යාපාරය නිසා කියලා ලොකු චෝදනවක් තිබෙනවා.
කේ.වී. සෝමරත්න සහ තිලක් හත්වැල්ලගේ මහත්වරුද ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව දක්වන්නේ ධම්මින්ද හිමිට සමාන අදහස්ය.
බුලත්සිංහල පිළිබඳ මනා අවබෝධයක් තිබෙන බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක නිහාල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති 1994 වර්ෂයට පෙර ජනතා හිතකාමි ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුකුළේ ගඟ ව්‍යාපෘතිය පසුව බලයට පැමිණි දේශපාලනඥයන් විසින් තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කළ බවයි. ඒ නිසා එහි තිබුණු සැලසුම් සහගත තත්ත්වය වෙනස් කළා. ඒ අය දේශපාලන වාසිය සඳහා කළ දේවල් නිසයි මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ.
ඒ පිළිබඳව අදහස් දක්වන බුලත්සිංහල සජබ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.
මේ අත්දැකීම අලුත් වුණත් ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වය සමඟ මගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඒ අහිංසක ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන්. උපරිමයෙන්, මා හට හැකි පමණින් ඔවුනට පිළිසරණක් වීමට මා ක්‍රියා කළා. ඒ ගිය ගමනේදී හැමදෙනාම මට කිව්ව එක් කරුණක් තමයි කුකුළේ ගඟ ව්‍යාපෘතිය නිසා වැඩි වශයෙන් මේ ආපදා තත්ත්වයට ඔවුනට මුහුණ දීමට සිදුවන බව. දැනට රාජ්‍ය බලයක් නොමැතිව මීට පිළියම් යෙදීමට නොහැකි වුවත් අනාගතයේ දවසක අපේ රජයක් යටතේ මේ අහිංසක මිනිස්සු මින් මුදාගැනීමට යම් වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව මා ඔවුනට දැනුම් දුන්නා.
බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මතුගම ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ නිතර ඇතිවන මහා ගංවතුර තත්ත්වයට හේතුව කුකුළේ ගඟ යෝජනා ක්‍රමය පිළිබඳව අප එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් අදහස් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළේ කළුතර ගංවතුර තත්ත්වය දීර්ඝ කාලීන දෙයක් බවත් තම ව්‍යාපෘතිය සහ ගංවතුර අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.
කෙසේ වුවද කළුතර දිස්ත්‍රික්කයට නිතර මහ විපත් ඇති කරනු ලබන මහා ගංවතුර තත්ත්වය පාලනය කිරීම බලධාරීන්ගේ වගකීමකි. සහනාධාර ලබාදීම හෝ ආධාර ලබාදීම තාවකාලික විසඳුමකි. එනිසා ඇති කළ යුත්තේ ගැටලුවට ස්ථිර විසඳුමකි.

විනාශ වූ තවත් තේ ඉඩමක්
ඡායාරූප – වාසිත පටබැඳිගේ