Sunday, May 11, 2025
Home » ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය

ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය

by mahesh
July 4, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

ආර්. සම්පන්දන් මහතාගේ දේශපාලන ජීවිතය අවධි තුනක් ඔස්සේ සලකා බැලිය හැකිය. 1977 මහ මැතිවරණය ජය ගෙන මුල් වරට පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීම. 13 වැනි සංශෝධනයට විරුද්ධත්වය දක්වා දෙමළ ජාතික මන්ත්‍රීවරු 1983 වසරේ දී පාර්ලිමේන්තු ක්‍රියාදාමයෙන් බැහැර වූ අවස්ථාව දක්වා කාලය මුල් අදියර වේ. අනතුරුව ඔහු 1994 වසරේ සිට සුළු කාලයක් හැර මියයන මොහොත දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. එම දේශපාලන ජිවිතයෙන් 2009 දක්වා කාලය සහ 2009න් ඔබ්බට කාලය ලෙස පරිච්ඡෙද 3ක් යටතේ ඔහුගේ දේශපාලන සලකා බැලිය හැකිය.

ජාතික නායකත්වය

ආර්. සම්පන්දන් නම් ජාතික දේශපාලනඥයා වඩා ඉස්මතු වන අවස්ථාව ලෙස සැලකිය හැක්කේ 2009න් පසු කාල ඡේදයය. එල්ටීටීඊයේ පරාජයෙන් පසු ලාංකේය දේශපාලනය තුළ දෙමළ ජනතාවගේ හඬ නියෝජනය කිරීම සම්බන්ධයෙන් රික්තකයන් නිර්මාණය වූ අතර ආර්. සම්පන්දන් මහතා එය සාර්ථකව සම්පූර්ණ කළේය. ඔහු කොතරම් හොඳින් එම කාර්යය ඉටු කළේද යත් ඔහු එම කාල පරිච්ඡේදයේදී වර්ගික නායකයකු යනු පටු සීමා අතික්‍රමණය කර ජාතික නායකයකු බවට පත් විය.

මෙරට දේශපාලනය තුළ ද්‍රවිඩ දේශපාලන නායකයන් අවස්ථා දෙකකදී විපක්ෂ නායක ධූරයට පත් විය. ඒ 1977 දී ආර්. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීම හා 2015දී ආර්. සම්පන්දන් මහතා විපක්ෂ නායක ධූරයට පත් වීමය. එක් කාල ඡේදයක් ප්‍රජාතන්ත්‍රවාදය පසු බැසීමකින් නිමාවට පත්වූ අතර අනෙක් අවස්ථාව වූ ආර්. සම්පන්දන් මහතාගේ ධූර කාලය විපක්ෂ නායක කාර්යභාරය මෙයය යැයි දැක්විය හැකි පරමාදර්ශයක් බවට පත්විය. දෙමළ ජනතාවගේ අහිමිව ගිය ‍ගෞරවය යළි පිහිටුවීමට ඔහුට හැකි විය. එය බොහෝ බාධක මැද පැමිණි අසීරු ගමනකි.

සම්පන්දන් මහතා නියෝජනය කළ ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රධාන වශයෙන් උතුරු නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරගත් පක්ෂයකි. සම්පන්දන් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. සාම්ප්‍රදායික ද්‍රවිඩ ප්‍රභූ දේශපාලනයේ නායකයන් බිහිවූයේ උතුරු පළාතෙනි. චෙල්වනායගම්, අමිර්තලිංගම්, ආනන්දසංගරි වැනි නායකයන් උතුරු පළාතෙන් බිහිවූ නායකයන් කිහිප දෙනෙකි. එවැනි පසුබිමක් තුළ උතුරු පළාතෙන් බැහැර දිස්ත්‍රික්කයක් නියෝජනය කළ මන්ත්‍රීවරයකු සාම්ප්‍රදායික ද්‍රවිඩ ප්‍රභූ දේශපාලනයේ යෂ්ටිය අතට ගැනීම විරල සිදුවීමකි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජනවර්ග තුනම ජීවත් වන ප්‍රදේශයකි. පටු ජාතිකත්ව අදහස්වලින් මිදී ජාතික නායකයෙක් ලෙස මතුවීමට වාර්ගික සම්මිශ්‍රණයකින් යුත් දිස්ත්‍රික්කයක් නියෝජනය කිරීම යම් ආකාරයකින් බලපෑවා විය යුතුය.

දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම හා දිනා ගැනීම සම්පන්දන් අනුදත් දේශපාලනයේ ප්‍රමුඛ අරමුණ ලෙස සැලකිය හැකිය. ඔහුගේ ප්‍රවේශය වැදගත් වන්නේ ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගැන සැම විටම විශ්වාසය තැබීමය.

වාර්ගික ගැටලුවට විසඳුමක්

අනෙක් වැදගත් කාරණය වන්නේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට විසඳුම් සෙවිය යුතුය යන අපේක්ෂාවය.

මේ කාරණය සම්පන්දන්ගේ දේශපාලනය හා එල්ටීටීඊ සංවිධානයේ පරමාර්ථ අතර තියුණු බෙදීමක් දක්වන අවස්ථාවකි. ඒ ගැන අවධානය යොමු කිරීමෙන් තොරව දකුණේ සමහර දේශපාලනඥයන් සම්පන්දන් බෙදුම්වාදියකු ලෙස හා ඊළාම්වාදයේ ඒජන්තයකු ලෙස හඳුන්වන ආකාරය අපි දැක ඇත්තෙමු.

වාර්ගික ගැටලුවට රජය දෙන විසඳුම දකුණේ බහුතර ජනතාව පිළිගන්නා එකක් විය යුතුය යන්න ඔහු හැමවිටම අවධාරණය කළ කාරණයකි. දකුණේ බහුතරය පිළිනොගන්නා විසඳුමක් ස්ථිරසාර විසඳුමක් නොවන බවට ඔහු විශ්වාස කළේය. එබැවින් ඔහු කෙටි ක්‍රම මඟින් සිය අපේක්ෂාවන්ට ළඟා වීමට උත්සාහ කළේ නැත.

සම්පන්දන්ගේ දේශපාලනයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් දැක්වූ අප්‍රතිහ කැපවීමය. ප්‍රජාතන්ත්‍රවාදයට බැහැර ක්‍රම මඟින් දෙමළ ජනතා අයිතීන් දිනා ගැනීමට හෝ අයිතීන් උදෙසා කේවල් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය පරදුවට තැබීමට ඔහු කිසිවිටක උත්සාහ කළේ නැත. ‍මේ කාරණය සම්පන්දන්ගේ දේශපාලනයේ මතුවන අවස්ථා කිහිපයක්වේ.

2005 ජනාධිපතිවරණය පැවැතියේ වෙනස්ම සන්දර්භයක් යටතේය. ඒ වන විට උතුරේ එල්ටීටීඊ පාලන ප්‍රදේශ පැවතිණ. ජනාධිපතිවරණයකදී සමස්ත දිවයිනම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා බැලීම සිදුවේ. එල්ටීටීඊය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් බැවින් ඔවුන් සිය පාලනය යටතේ පවතින ප්‍රදේශවල ජීවත් වන ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදෙන බවට හාහෝවක් මතුව තිබිණි.

2005 ජනාධිපතිවරණය

සම්පන්දන් මහතා එයට එරෙහිව ප්‍රබල හඬක් නැඟීය. ඔහු බටහිර රටවල තානාපතිවරු හමුවී අදහස් දක්වමින් එල්ටීටීඊයට ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් කිරීමට උත්සාහ කළේය. එල්ටීටීඊ පාලන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදීමෙන් ඔවුන්ගේ මූලික අයිතියට බලපෑමක් ඇතිවිය හැකි බවට ඔහු ප්‍රකාශ කර සිටියේය. සම්පන්දන් එල්ටීටීඊය වෙනුවෙන් හඬ නඟන්නෙක් නම් ඔහුගේ මුවෙන් එවැනි දෙයක් කියවෙන්නේ නැත. සම්පන්දන් එදා එල්ටීටීඊයේ මතයට එරෙහිව අභීතව හඬ නැඟුයේ පාර්ලිමේන්තු දේශපාලනය පිළිගත් අමිර්තලිංගම්, යෝගේස්වර්න්. නීලන් තිරුචෙල්වම් ඇතුළු සාම්ප්‍රදායික දේශපාලනඥයන් රැසක් ඝාතනය වූ පසුබිමකය.

ඒ වන විට රජය හා එල්ටීටීඊය අතර සාම ක්‍රියාදාමයක් පැවැතියේය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මේ හේතුව මත සාම සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක් ඇති බවයි. එම අවස්ථාවේදී සම්පන්දන්ට දෙමළ දේශපාලන මතවාදය සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකි වූ අතර මුදා නොගත් ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි විය. එමෙන්ම සම්පන්දන්ගේ දේශපාලන පුරෝකථනය සනාථ කරමින් සාම සාකච්ඡා බිඳ වැටිණ. ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස්වීම කෙරෙහි ද එල්ටීටීඊයේ ඡන්ද වර්ජනය තීරණාත්මක බලපෑමක් කළේය. කිසියම් හේතුවක් මත 2005 වසරේදී උතුරේ දෙමළ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබුණේ නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වන්නේ 2021දී නොව එදාය.

විපක්ෂ නායක භූමිකාව

සම්පන්දන් ජාතික දේශපාලනය තුළ වැදගත් භුමිකාවක් ඉටු කළ අනෙක් අවස්ථාව වන්නේ 2018 වසරය. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස එම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කෙරිණි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසු මහ මැතිවරණය පැවැති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බලය හිමි විය. යහපාලන ආණ්ඩුවට ලැබුණු ජනතා වරම අනුව අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය.

නමුත් එම සන්ධනානයේ ආශීර්වාදය යටතේම බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයේ බලතළ අවභාවිත කරමින් අගමැතිවරයා බලයෙන් පහ කළේය. මෙය මෙරට දේශපාලනයේ තියුණු බල ගැටුමක් ඇති කළ අවස්ථාවක් විය. එහිදී ආර්. සම්පන්දන් මහතා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතළ කැප කිරීමක් කළේය. ජනමතයට පිටින් බිහි කළ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය ගෙනා විශ්වාසභංගයට ආර්. සම්පන්දන් මහතා කොන්දේසි විරහිතව සහාය දුන්නේය. ඔහු හැර වෙනත් දේශපාලනඥයකු විපක්ෂ නායක තනතුරේ සිටියේ නම් සිය දේශපාලන අවශ්‍යතා හෝ පෞද්ගලික ඉල්ලීම දිනා ගැනීමට එම අවස්ථාව යොදා ගනු නියතය. ඒ අවස්ථාවේ ආණ්ඩු තීරණය කරන රිමෝට් එක තිබුණේ සම්පන්දන් අතය.

දකුණේ බොහෝ නායකයන් බලය අවභාවිත කර විශ්වාසය නැතිකර ගත් පසුබිමක ඔහු නව දේශපාලන සුසමාදර්ශයක් සැපයීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT