සෑම දිස්ත්‍රික්කයකටම අදාළව පුනරුත්ථාපන ඒකකයක් සහ සහන සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීම ලබන වසරේ සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ පළමු ආඝාත රෝගී ප්‍රතිකාර ඒකකය කරාපිටිය රෝහලේදී පෙරේදා (02) ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ලබන වසරේ අය-වැය ප්රකාශනයෙන් මේ ඒකක ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරනවා. ආඝාත ඒකක පළාත් වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද ස්ථාපිත කළ යුතුයි.
ගුණාත්මක සහ සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට දීම අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 75ක මූල්‍ය ප්‍රතිපාදන මත මේ දකුණු පළාතේ ආඝාත ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කළා. මේ ඒකකය ඉදිකිරීම් ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු ගාල්ල වෛද්‍ය සංගමයෙන් සිදු කළා.
මෙහි ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ආරම්භ කළත් අතරමඟ නැවතී තිබූ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේදී යළි ආරම්භ කළා. මේ වන විට කොළඹ, කුරුණෑගල, මහනුවර රජයේ රෝහල්වල ආඝාත ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර රෝගී ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වෙනවා.
වර්තමානය වන විට බෝ නොවන රෝගවල යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා. එය ගැටලුසහගත තත්ත්වයක්. මම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගෙන මේ වන විට මාස අටක කාලයක් ඉක්ම ගොස් තිබෙනවා. අමාත්‍යාංශය භාර ගන්නා විට තිබූ ගැටලු මේ වන විට නිරාකරණය වෙමින් පවතිනවා. රජයේ රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යම් දීමනාවක් දීමට ද කටයුතු කළා. සෞඛ්‍ය සේවාවේ වැඩිම පිරිසක් සිටින හෙද සේවාව සඳහා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීමටත්, මෙරට 18 වැනි විශ්වවිද්‍යාලය ලෙස හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.”
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ එස්. ඩී. යූ. එම්. රංග, ගාලු වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විමලසිරි උලුවක්කගේ මහත්වරුන් ද, විශේෂඥ වෛද්‍යවරුන් ද, වෛද්‍යවරුන් ද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.