Sunday, May 11, 2025
Home » ඇඹිලිපිටිය පොලිසියෙන් ඉස්සූ දෙදරු පියාට රජ කාලේ දඬුවම්

ඇඹිලිපිටිය පොලිසියෙන් ඉස්සූ දෙදරු පියාට රජ කාලේ දඬුවම්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

සූරියවැව විශේෂ - නුවන් ජයසේකර, අම්බලන්තොට සමූහ - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

සිවිල් ඇඳුමින් ආ ඇඹිලිපිටිය පොලිසියේ තිදෙනෙකු දෙදරු පියෙකු පැහැරගෙන ගිහින් හොරකමක් අනාවරණය කර ගැනීමට යැයි පවසා දින තුනක් තිස්සේ රජ කාලේ දඬුවම් දී ඇත.

පොලිසියේ වධබන්ධන ඉවසිය නොහැකි තැන දෙදරු පියා පොලිසියෙන් පලා විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් වී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි පවසයි.

දකුණු පළාත් දූෂණ මර්දන ඒකකයෙන් බව පවසා පොලිස් හැඳුනුම්පතක් ද පෙන්වා සිවිල් ඇඳුමින් පැමිණි තිදෙනෙකු විසින් සෙවණගල, කිරිවැව, නුගේගල යාය පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකු පැහැරගෙන පාළු ස්ථානයකට රැගෙනගොස් අමානුෂික ලෙස පහරදී ඇඹිලිපිටිය බස් නැවතුමට ගෙනත් දැමූ පසුව පොලිස් නිල ඇඳුමින් සිටි වෙනත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු විසින් මෙම දෙදරු පියා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් පොලිසිය තුළ දී සොරකමක් සම්බන්ධ තොරතුරක් අනාවරණය කරගැනීමට යැයි පවසා දෙදරු පියාගේ පුරුෂ ලිංගයේ නයි මිරිස් අඹරා බැඳ ගුද මාර්ගයේ හා මුඛයේ තොල්වල නයි මිරිස් යුෂ ගා දස වද දී ඇතැයි හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා ඊයේ (03) පැවසීය.

මෙලෙස දසවධ බන්ධනයට ලක්ව ඇත්තේ සෙවණගල, කිරිවැව, නුගේගල යාය, කටුවන යාය, අංක 55 යන ලිපිනයේ පදිංචි 55 වියැති දෙදරු පියෙකු වන සුසිල් විතාරණගේ නමැති අයයි.

මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බවත්, හොරකමක් අනාවරණය කර ගැනීමට කියා මෙලෙස පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදීම ඉතාමත් නීති විරෝධී හා පිළිකුල්සහගත ක්‍රියාවක් බවත්, මේ තුළින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන බවත් පැවසූ ඒ මහතා මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති සහාය ලබා ගැනීමට කටයුතු කරන බව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා වැඩිදුරටත් පැවසීය.

සිද්ධියට මුහුණ දුන් සුසිල් විතාරණගේ මෙලෙස සිද්ධිය විස්තර කළේය.

“ මම පසුගිය 28 වැනිදා සවස නිවස අසල තියෙන වගාවේ වැඩ කරමින් සිටියදී සවස 2.30ට පමණ සුදු පාට කාර් රථයකින් පුද්ගලයන් සිවු දෙනෙකු ආවා. ඒ ඇවිත් ඔවුන් දකුණු පළාත් දූෂණ මර්දන ඒකකයෙන් බව මට කියා හැඳුනුම්පතක්ද පෙන්නුවා. මට විරුද්ධව පෙත්සමක් ඇවිත් තියෙනවා. ඒ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අපත් සමඟින් යමු කියලා මාව කාර් රථයට නංවාගෙන ගියා. එහෙම ටිකක් දුරක් යන විට මේ අය ඇඹිලිපිටිය පැත්තට හැරෙව්ව. මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. එතකොටම කාර් එකේ ගිය පුද්ගලයෙක් දඟලන්න එපා කියා ඔළුවට පිස්තෝලයක් තියලා මගේ ෂර්ට් එක ගලවලා ඇස් දෙක බැන්දා. එහෙම බැඳලා යන ගමන් දිගටම මට කුණුහරුපෙන් බැණ බැණ උඹ නිරෝශන් මහත්තයට විරුද්ධව මානව හිමිකම් ගිහින් කොරාද? කිය කියා පයින් පාගමින් මාව ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ප්‍රදේශයේ කුඩා කැලෑබද ස්ථානයක් වෙත රැගෙන ගොස් මගේ ඇස් ලිහුවා.

ඒ වෙලාවෙ මම දැක්ක තවත් සුදු කාර් එකක් එතනට ඇවිත් තියෙනව. ඒ කාර් එකේ ආපු අය හා මේ අය මාව අරගෙන පාළු ගරාජයක් වගේ තැනකට අරන් ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ මාව යළිත් කාර් එකට නංවාගෙන කුඹුගොඩ ආර පිහිටි වෙළෙඳසලක් වෙත රැගෙනවිත් පහරදී කොළ දෙකකට මාපට ඇඟිලි සලකුණු අත්සන් ලෙස අරන් 28 වැනිදා සවස 6.45ට විතර යළිත් එම කාර් රථයෙන්ම මම ඇඹිලිපිටිය බස් නැවතුමේ පිටුපසට රැගෙන ඇවිත් දමා මගේ අතට රුපියල් 600ක් දීලා ගෙදර පලයන් කියලා ඒ අය යන්න ගියා. මම බස් නැවතුම දෙසට එන්න හදනවාත් එක්කම නිල ඇඳුම් ඇද ගත්ත තවත් පොලිස් නිලධාරීන් 04 දෙනෙක් ඇවිත් උඹ කොහේ යන්නද කියලා අහලා ආයේ මාව අල්ලගෙන පහර දීලා ජීප් එකක ගෙන්වාගෙන මාව දමාගෙන ඇඹිලිපිටිය පොලිසියට අරගෙන ගියා. ඒ ගෙනිහින් මාව නිරුවත් කර හොරකම් කරපු බයික් කොහෙද තියෙන්නේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා අසමින් මට ගැහුවා. එහෙම ඒවා මම ළඟ නෑ කියද්දිත් මට පොලිසියේ අය ගැහුවා. පසුව පොලිසියේ කෙනෙක් ඉදපන් උබට හොඳ වැඩක් කරන්න කියලා නයි මිරිස් අඹරලා ගෙනත් මගේ පුරුෂ ලිංගයට තියලා බැන්දා. ඊට පස්සේ නයි මිරිස් යුෂ අධෝමාර්ගයේ හා කටේ තොල්වල තැවරුවා. පසුව ඒ අය මගේ අත් දෙකත් එකට තියලා බැඳලා ඒ මැදින් යකඩ පොල්ලක් දමා මාව ඔසවා මට බටයකින් හොඳටම පහර දුන්නා. මම වේදනාවෙන් කෑ ගැහුවා. වැඩක් වුණේ නෑ. පස්සෙ එක් නිලධාරියෙක් පෙට්‍රල් දමපු ෂොපින් බෑග් එකක් ගෙනත් මගේ ඔළුවට දැම්මා මුහුණ ආවරණය වන විදියට. මට හුස්ම ගන්න බැරුව කෑ ගැහුවා.

ගෙදරින් පුතා ඉකුත් 29 වැනිදා මාව හොයාගෙන පොලිසියට ඇවිත් ඇහුවම පොලිසියෙන් කියලා තිබුණා අපි එහෙම කෙනෙක් ගෙනාවේ නෑ කියලා. ගෙදර යන්න ඕන නම් හොරකම් කළා කියලා පිළිගනින් කියලා පොලිසිය මට බලපෑම් කළා. මම ඒවා පිළිගත්තේ නෑ. දිගින් දිගටම පොලිසිය මට ගැහුවා. පස්සේ මට ගුටි කන්න බැරි නිසා 30 අලුයම 2.30ට විතර මම ඇඹිලිපිටිය පොලිසියෙන් පැනලා ආවා. මොකද මම පොලිසිය ඇතුළේ දින 03කට ආසන්න කාලයක් තියාගෙන මට වධ දී තියාගෙන හිටිය නිසා. මම පොලිසියෙන් පැනලා ඇවිත් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණියා. එහිදී මාව ඔවුන් විසින් සෙවණගල පොලිසියට කතාකර භාර දුන්නා. එහිදී සෙවණගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් කුමාර මහතා වහා ක්‍රියාත්මක වී මට සිදු වූ අසාධාරණය ගැන මගෙන් කටඋත්තරයක් ලියාගෙන මාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කළා” යැයි ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT