මීගමුව මහාධිකරණයෙන් ඇප ඉල්ලීමේදී අවශ්‍ය වාර්තාවක් කඩිනමින් සැපයීමට සැකකරුවකුගේ බිරියගෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ගත් පමුණුගම පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට පෙරේදා (2) මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 29 දින පමුණුව ප්‍රදේශයේදී හෙරොයින් මි.ග්‍රෑ. 2,140ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බන්ධනාගාරගත කර ඇත. මේ සැකකරුට ඇප ගැනීමට මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියවිලි කඩිනම් කිරීමට පමුණුගම පොලිසියේ නඩු කටයුතු භාර මේ පොලිස් සැරයන්වරයා සැකකරුගේ බිරියගෙන් රු. 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරුගේ බිරිය විසින් මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක් කර තිබේ.