මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් තමා ලබාදුන්නේ මුදල් වංචා කිරීමකට අදාළව තමාට එරෙහිව අධිකරණයේ එදින විභාගයට ගැනීමට නියමිතව තිබුණු නඩුවක් කල් දමා ගැනීමේ අපේක්ෂාවෙන් බව එම ව්‍යාජ ඇමතුම ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
එම ඇමතුම ලබාදුන් ජංගම දුරකතනය ද පොලිසිය මඟින් උණ පඳුරක් අස්සේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
වටවල, කඩවලවත්තේ පදිංචිකරුවකු වන එස්. සෙල්වදොරේ නමැති 58 හැවිරිදි එම සැකකරු විදේශ රැකියා සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කර ඇති අයකු බව පොලිසිය කියයි. ඔහුට එරෙහිව මහනුවර පොලිසියේ ද පැමිණිලි දෙකක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් ද සිදු වෙමින් පවතින බව පොලිසිය කියයි.
එම නඩු කටයුත්තට අදාළව රුපියල් 250,000ක හා රුපියල් 205,000ක මුදලක් ගෙවීමට මෙදින ඔහුට නියමිතව තිබී ඇති බැවින් එම මුදල නොගෙවා නඩුව කල් දමා ගැනීමට අධිකරණයේ බෝම්බයක් ඇතැයි බොරු ඇමතුමක් දී තිබෙන බව විමර්ශනයේදී හෙළිවී ඇත.
මෙම ඇමතුම ඔහු විසින් දී ඇත්තේ ඔහුගේ අසල්වැසියකු වන ඒ මහේන්ද්‍ර නමැති 53 හැවිරිදි පුද්ගලයකුගේ ජංගම දුරකතනය සොරාගෙන එහි සිම්පත සිය ජංගම දුරකතනයට ඇතුළු කරමින් බව ද විමර්ශනයේදී හෙළිවී ඇත. සිම්පතේ හිමිකරු බස් රථ කොන්දොස්තරවරයෙකි.
මෙම බෝම්බ ඇමතුම පෙරේදා (02) පෙරවරුවේදී පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදී ඇත්තේ පෙරවරු 10.30ට පමණය. ඊට පෙර ඔහු තමාගේ නඩුවලට අවස්ථා කිහිපයකදී ඉදිරිපත්ව සිටි නීතිඥවරියකගේ දුරකතනයට ඇමතුමක් ගෙන අධිකරණය තුළ බෝම්බයක් ඇතැයි සඳහන් කර ඇයට උසාවි භූමියෙන් පිටතට යන ලෙස දැනුම් දී ඇත. එම ඇමතුම ඇයට දී ඇත්තේ ඇය මඟින් කලබලයක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව බව ද අනාවරණය වී ඇත.
එම නීතිඥවරිය එම ඇමතුමට කලබල වී නැත. පොලිසියට ලද ඇමතුමට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අධිකරණයේ ආරක්ෂාව සඳහා පියවර ගත්තේය. බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදවා කළ පරීක්ෂාවකින් අනතුරුව දුරකතන ඇමතුමෙන් කී ආකාරයට අනුව බෝම්බ තර්ජනයක් නැති බව තහවුරු වී තිබිණි. අනතුරුව එම ඇමතුම දුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශන පවත්වා ඇමතුම දුන් දුරකතන සිම්පතේ හිමිකරු වන මාහේන්ද්රන් නමැති බස් කොන්දොස්තර ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා සිටින්නේ ඊට පෙර දිනයේ සිට තමාගේ දුරකතනය අස්ථානගතව ඇති බවය. තමා එළුවන්ට කොළ කැපීම සඳහා ගොස් සිටියදී නිවෙසේ ජනෙල් පඩිය මත තිබුණු ජංගම දුරකතනය කිසියම් අයකු විසින් සොරාගෙන ගොස් ඇති බව ද පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ ඔහු පවසා තිබිණි.
ඒ අනුව පොලිසිය එම දුරකතන ඇමතුම ලබාගත් දුරකතනයේ එමි අංකයට අදාළව කළ තාක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව එම සිම්පතින් ඇමතුම ලබාගත් දුරකතනයේ හිමිකරු හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා බස් කොන්දොස්තරගේ අසල්වැසියා වන සෙල්වදොරේය.
මෙම සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ දුරකතන සිම්පත් මාරු කරමින් මෙයට පෙර ද ඇමතුම් ගැනීම්වල නිරතව සිට ඇති බැවින් පොලිසිය ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කරනු ලැබුවේ ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර පොලිස් භාරයට ගත් බවත් ඔවුන් දෙදෙනා දින 03ක් රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබාගත් බවත්ය.
මෙම ව්‍යාජ දුරකතන ඇමතුම හේතුවෙන් පෙරේදා (02) පෙරවරුවේ සියලු අධිකරණ කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති අතර ඊයේ (03) සුපුරුදු ලෙස අධිකරණ කටයුතු සිදුවිය.