හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලැබීම ආසන්නයටම පැමිණ තවත් අඟල් 2කින් ඔලිම්පික් අහිමිවී ගිය රුමේෂ් තරංග පැරිස් ඔලිම්පික් උලෙළට එක්කර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කොට ඇත.
දකුණු කොරියාවේ මොක්පෝහි පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී මීටර් 85.45ක දුරක් හෙල්ල විසි කළ රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ රන් පදක්කම දිනාගත් අතර, එය මෙවර තරගවාරයේ ලෝකයේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකුගේ දහවැනි දිගම විසිකිරීම හෙයින් තරංගට ඔලිම්පික් වරම් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඉල්ලීමක් කර තිබේ.
රුමේෂ් තරංගගේ එම හෙල්ල විසිකිරීමේ දක්ෂතාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල දසවැනි ස්ථානයට පත්ව ඇති බව අවධාරණය කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත අභියාචනය ඉදිරිපත් කර තිබේ.
21 හැවිරිදි රුමේෂ් තරංගගේ වාර්තාගත හෙල්ල විසිකිරීමේ දක්ෂතාවෙන් ඍජු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ප්‍රමිතීන්ට ආසන්න විය. මලල ක්‍රීඩක සුදුසුකම් ලැබීමේ කාලසීමාව පසුගිය 30 වැනිදා අවසන් වූ අතර, හෙල්ල විසිකිරීමෙන් ලොවපුරා ඍජු සුදුසුකම් ලැබීම සටහන් කළේ ක්‍රීඩකයන් 11ක් පමණි. එයට අමතරව ‘රෝඩ් ටු පැරිස් 24’ ශ්‍රේණිගත කිරීම් අනුව තවත් විසිකරන්නන් 21ක් සුදුසුකම් ලබා ගත්තේය.
හිටපු ලෝක ශූර හා ඔලිම්පික් පදක්කම්ලාභී කෙන්යාවේ ජූලියස් යෙගෝ ද සුදුසුකම් ලැබීමේ කාලය තුළ ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස ඝානාහිදී වාර්තා කළේ මීටර් 81.74ක් පමණි.
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් බිහිවූ රුමේෂ් තරංග අලුත්ම ක්‍රීඩකයකු බැවින් ‘රෝඩ් ටු පැරිස් 24’ ශ්‍රේණිගත කිරීම්වලට අයත් නොවිණි. ඔහු තම දක්ෂතා වේගයෙන් දියුණු මට්ටමකට පත්කරගෙන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් 2015දී දියගම ක්‍රීඩාංගණයේදී සුමේධ රණසිංහ මීටර් 83.04කින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලා දැමීමට සමත් විය.