මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිවාසි රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය ශ්‍රී රේවත සංඝරතන විචිත්‍ර භාණක ගාලු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විශාරද ගෞරවාර්හ මාපලගම බුද්ධසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය (ජූලි 8) නිමිත්තෙන් ඉතා ළෙන්ගතු භාවයෙන් යුතුව අපගේ ශුභාශිංසනය පළ කරනු කැමැත්තෙමු.
භික්ෂු ජීවිතයක් යනු පරාර්ථය සඳහා කැප වූවක් වන්නේ මතු නොව එම කැප වීම මඟින් විමුක්ති මාර්ග සාධනය සඳහා උත්සුක වන්නා වූ උදාර ජීවිතයකි. උපතින් වසර 11ක් පමණ වූ ළාබාල වියේදී සසුන්ගත වූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ පැවිදි ජීවිතයෙහි ගෙවී ගිය පනස් වසර අවලෝකනය කිරීමේදී ඒ පැවිදි ජීවිතයෙන් සිදු වී ඇති ශාසනික මෙහෙය අසීමිත වූවක් බව පෙනී යයි. දුරාතීතයේ සිටම ශ්‍රී ලාංකේය භික්ෂුව මූලික පරමාර්ථයට සාපේක්ෂව බාහිර ක්‍රියාකාරකම් ඔප් නංවාගනිමින් සඟ සසුන සෝබාමත් කර ඇති ආකාරය ඉතා ප්‍රකට කරුණකි. ඒ අනුව කීමෙහි බිණීමෙහි දක්ෂතා ඇති භික්ෂූන් වහන්සේ සමාජීය වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලැබූයේ මතු නොව භාණක පරම්පරා පිළිබඳ ශාසන ඉතිහාසයෙන්ද අනාවරණය වේ. මාපලගම බුද්ධසිරි නාහිමියන්ද ඒ මධුරභාණී අතීත මහා යති පරපුර නියෝජනය කරන වර්තමාන යති පරපුරෙහි තවත් ප්රසබල සලකුණක් ලෙස හැඳින්වීම වරදක් නොවනු ඇත.
දක්ෂිණ ලංකාවේ ගාලු පළාතේ චිරප්රසිද්ධ ග්‍රාමවරයක් වූ මාපලගම සම්භාවනීය පරපුරක් වූ කාරියවසම් පරපුරට අයත්ව උපත ලබන මුන් වහන්සේගේ පූර්වාචාරය දෙපළ වන්නේ එඩ්වඩ් කාරියවසම් පියාණෝ හා පියවතී ලියනගේ මෑණියෝය. කුඩා කල සිටම ශාසනික ඇල්මක් ඇතිව ක්‍රියා කරමින් මවුපිය දෙපළගේ පූර්ණ කැමැත්ත ඇතිව මුන් වහන්සේ පැවිදි ජීවිතයට පත්වන්නේද කීර්තිමත් සඟ පරපුරක් වූ මාතර වෙහෙරහේන රාජ මහා විහාර සඟ පරපුරට අයත් භික්ෂුවක වශයෙනි. 1971 වර්ෂයෙහි දෙසැම්බර් මස 22 වැනි දින මාතර වෙහෙරහේන රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයෙහි ප්‍රධාන සංඝනායක පූජ්‍ය දවුලගල සංඝරතන අපවත් වී වදාළ ප්‍රවීණාචාර්ය මාතර ආනන්ද වත්මන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් යුතුව මුන් වහන්සේ පැවිදි දිවියට එළඹුණහ. ගුරුදේවයන් වහන්සේ වෙතින් ප්‍රාථමික භික්ෂු ආකල්ප මැනවින් ප්‍රගුණ කරගත් මාපලගම බුද්ධසිරි කුඩා හිමියන් තම විහාරස්ථානයෙහිම වූ ශ්‍රී රේවත පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන ලද්දේ මතු නොව උසස් පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙන් විද්යායතනයටය. අපගේද ගුරු භූමිය වූ ශ්‍රී සුදර්ශි පරිවේණස්ථානයෙන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වූයේ වුවද එම අවධියේ සිටම මුන් වහන්සේගේ දැඩි රුචිකත්වයක් වූයේ පිරිත් දේශනය සඳහා බවද සඳහන් කළ යුතුව ඇත. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පිරිවෙන් අවසානය හා විශ්ව විද්‍යාල ප්‍රවේශය ආදි අධ්‍යාපනික සුදුසුකම් සපුරාගත් මාපලගම බුද්ධසිරි හිමියන් උපතින්ම උරුමව තිබූ තිබූ මධුරභාණී හඬපෞරුෂය පිරිවෙන් ශිෂ්‍යයව සිටියදීම ප්‍රගුණ කරගැනීම සඳහා සමත්කම් දක්වා ඇත. මේ අතර උතුම් උපසම්පදාව සඳහාද සුදුසුකම් ලබා සිටි මුන් වහන්සේ ප්රව්රජ්යාවේදී ආචාර්ය පාදයන් වහන්සේ වූ දවුලගල සංඝරතන නාහිමි ඇතුළු සෙසු නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී 1980 වර්ෂයේ ජූනි මස 14 දින උතුම් උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදහ.
ක්‍රියාශීලී තරුණ භික්ෂුවක ලෙස පෞරාණික වෙහෙරහේන රාජමහා විහාරයෙහි විවිධ ආගමික සාමාජික හා සංස්කෘතිකමය විවිධ කාර්යයන්හි යෙදෙමින් ගුරුදේව විහාරාධිපති නාහිමියන්ට සහාය වෙමින් ක්‍රියා කළ මාපලගම බුද්ධසිරි නාහිමියන් එම ස්ථානයෙහි දියුණුව හා ආරක්ෂාව පිණිස මහත් කැපවීමකින් යුතුව ක්‍රියා කළේ මතු නොව කීමෙහි බිණීමෙහි දක්වන ලද සුවිශේෂ දක්ෂතාව නිසා ගිහි පැවිදි දෙපාර්ශ්වය අතරෙහිම ප්‍රියශීලී භික්ෂුවක ලෙස සමාජගත වීම සඳහා දිගු කලක් ගත වූයේ නැත. භික්ෂු ජීවිතයක් ඔපවත් වීම සඳහා මූලික වන දේශකත්වය, ධර්ම දේශනා හා පිරිත් දේශනා වශයෙන් දෙවැදෑරුම්ව හැඳින්විය හැකි අතර, දේශනාමය කෞශල්‍යය එහිදී ප්රමුඛ වේ. එම කුසලතාව විචිත්රවත්වයෙන් යුතුව එළිදක්වන ලද විචිත්‍ර දේශකයන් වහන්සේ පිළිබඳ ලේඛනයෙහි වර්තමානය නියෝජනය කරන ප්‍රමුඛතම නමක් ලෙස ගරු මාපලගම බුද්ධසිරි හිමියන් පිළිබඳ සඳහන් කළ හැකි වේ.
පසුකාලීනව මුන් වහන්සේගේ දක්ෂතා අගය කරනු වස් ස්ව සංඝ සභාව වූ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් සභායක්ත කාරක සංඝ සභාවට මෙන්ම කර්මවාගාචාර්ය තනතුරක් සඳහාද පත් කොට ඇත්තේ මතුනොව ගාලු පළාත සහිත හිනිදුම් පත්තුවේ ප්රාධාන සංඝනායක පදවියටද පත් කොට ඇත්තේ ශ්‍රී රේවත සංඝරතන විචිත්‍ර භාණක යන ගෞරව නාමයද සහිතවය. එපමණක් නොව, අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාව සද්ධර්ම කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද යන ගෞරව නාමයෙන් ඇගයීමට ලක් කිරීම මාපලගම බුද්ධසිරි නාහිමියන් ස්ව නිකායිකව පමණක් නොව පරිබාහිර වෙනත් නිකායත්ත සංඝ සභා මගින්ද අගය කොට ඇති බවට මහත් සාධකයකි.
ජන්මයෙන්ම පුණ්‍යවන්ත භික්ෂුවක වන මාපලගම බුද්ධසිරි නාහිමියන් ඒ ජන්මීය පුණ්‍යවන්ත භාවය ප්‍රවර්ධනය කරගැනීම සඳහා සිදු කරන ශාසනික මෙහෙයද අප්‍රමාණ වේ. සසුනේ චිරස්ථිතිය සඳහා සිදු කොට ඇති සේවාවන්හි ජීවමාන සාධකයක් ලෙස රත්මලාන කොතලාවල පුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානය දැක්විය හැකි වන්නේ මතු නොව එය පරම්පරා ගණනකදී සිදු කළ යුතු කාර්යයක් ලෙස නම් කිරීමෙහි වරදක් නැත. දසක දෙකහමාරක කාලයක් තුළ සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදි කරලිය හැකි වීම භික්ෂු ජීවිතයක මහත් ජයග්‍රහණයකි. මාතර බෞද්ධ මධ්‍යස්ථානය නමින්ද හැඳින්වූ මේ පූජනීය විහාරස්ථානය විවිධ අවශ්‍යතා සඳහා දකුණු පළාතෙන් කොළඹට වැඩමවන භික්ෂූන් වහන්සේට පමණක් නොව, විවිධ පළාත්වලින් හා විවිධ පාර්ශ්ව මෙන්ම නිකායවල මහානායක අනුනායකාදි සම්භාවනීය බොහෝ භික්ෂූන් වහන්සේලාට සුවපහසු වූ ආගන්තුක සත්කාරයෙන් අනූන ස්ථානයක් බවට පත්ව ඇති බවද සඳහන් කළ හැකිය. එපමණක් නොව, මේ ස්ථානය මඟින් කුඩා ළමයින්ගේ සිට වියපත් මවුපියන් දක්වා විවිධ අධ්‍යාපනික ආගමික හා සමාජික සේවාවන් සංවිධානය කොට ඇති අතර, මේ සේවාවන් මැනවින් පවත්වාගෙන යෑම සඳහා නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති පහළ ඕබඩ සුනීත හිමියන් ප්‍රධාන දැන උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කරගැනීමට හැකි වීමද මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ පුණ්‍යවන්ත භාවයට නිදසුනකි.
වෙහෙරහේන රාජ මහා විහාරයෙහි කෘත්‍යාධිකාරිත්වය දසකයකුත් වසර පසළොවක් දරා ඇති මාපලගම බුද්ධසිරි නාහිමියන් මාතර සිට කොළඹට පැමිණි වසර 25ක් පමණ ගත වී ඇති අතර එම ආගමනය උන් වහන්සේගේ උතුම් පැවිදි ජීවිතයෙහි සුවිශේෂ කඩඉමක් වූවාට සැකයක් නැත. මුන් වහන්සේගේ ගම්භීර වු මිහිරි හඬ පෞරුෂය විවිධ සමාජ තලයන්ට අයත් තමන්ට ඉතා සමීප වූ හිතවත් දායක පිරිසක් සමීප කරගැනීම සඳහාද එය හේතු වූ බව නොරහසකි. වසර 50ක් ඉක්මවූ තම පැවිදි ජීවිතය තුළ මුන් වහන්සේ සමස්ත ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථාන මතු නොව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසි නිවසේ සිට ග්‍රාමීය වූ කුඩා නිවහන දක්වාත් දකුණු ආසියාතික බොහෝ රටවල මෙන්ම එක්සත් රාජධානිය අමෙරිකා එක්සත් ජනපදය ප්‍රංශය ආදි බොහෝ යුරෝපීය රටවලදීද තම විචිත්‍ර දේශනා හඬ පෞරුෂය ප්‍රකට කොට ඇත. ඒ අනුව ශ්‍රී ලාංකික භික්ෂු සමාජයට සියලු අංශයන්ගෙන් පිරිමහින භික්ෂුවක් වන අපේ මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ භික්ෂු ජීවිතය යුතුකම් ඉටු කිරීම, ආගන්තුක සත්කාරය හා සාම්ප්‍රදායික ශාසනික අනන්‍යතාවෙන් ආරක්ෂා කරගැනීම ආදි භික්ෂුවක තුළ විද්‍යමාන විය යුතු ආදර්ශ රාශියකින් යුත් සාර්ථක භික්ෂු ජීවිතයක් ලෙස අගය කරමින්, උන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය ප්‍රාර්ථනා කර සිටිමු.
කොළඹ 6, හැව්ලොක් සිටි සාම විහාරාධිපති,
දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න
ප්‍රධාන අධිකරණ සංඝනායක
අතපත්තුකන්දේ ආනන්ද නාහිමි