ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික දීපාල් රොෂාන් කුමාර විතානාරච්චි මහතාට වෙඩි තැබූ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර, වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවිය ද සොයාගත් බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.
කරන්දෙණියේ හිතහොඳ දොස්තර, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ඇතුළු දකුණේ ඝාතන ගොන්නකට වගකිව යුතු බව කියන ඩුබායිහී රැඳී සිටින බව කියන කරන්දෙණියේ සුද්දා නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනයේදී පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ ඝාතනයේ වෙඩික්කරුද මෙම සැකකරු බවට සැක කරන තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය තහවුරු කර ගැනීමට විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා කීය.
අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුව මෙම ඝාතනය සඳහා මෙහෙයවා ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයෙක් වන සමන් කොල්ලා නමැත්තා බවද එම නිලධාරියා කීය. සමන් කොල්ලා ද සිටින්නේ ඩුබායිහිය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික දීපාල් රොෂාන් කුමාර විතානාරච්චි මහතාගේ ඝාතනය සිදු කළේ කුමන අරමුණකින්දැයි පැහැදිලිවම මෙතෙක් හෙළි වී නැත. එහෙත් වෙඩික්කරුට මෙම ඝාතනය සඳහා රුපියල් ලක්ෂ 11ක මුදලක් ලැබී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබෙන බව පොලිසිය කියයි. එම මුදල වෙඩික්කරුගේ බිරියගේ ගිණුමට බැර වී ඇති බව ද කියයි. එම මුදල් බැර වී ඇත්තේ මුලින් රුපියල් ලක්ෂ 08ක් වශයෙන් සහ පසුව රුපියල් 5,000, 10,000, 15,000, 20,000 වශයෙන් බව පොලිසිය කියයි. පෙබරවාරි මාසයේ සිට එම මුදල් බැර වී තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ඝාතනයක් වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික දීපාල් රොෂාන් කුමාර විතානාරච්චි මහතාගේ ඝාතනය සිදුවූයේ පසුගිය පෙබරවාරි 26 වැනිදා උදෑසන කාලයේදීය. යතුරුපැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර තිබුණේ සිය දරුවා පාසලට රැගෙන යෑමට ඔහු සූදානමින් සිටියදීය.
මෙම ඝාතනයට පැහැදිලි නිශ්චිත හේතුවක් පොලිසියට සොයාගැනීමට මූලික විමර්ශනවලින් මෙන්ම අදටත් නොහැකි වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් 04ක් සිදු කරනු ලැබීය. ඝාතනය වූ දින සැකකටයුතු යතුරුපැදියක් ගිනි තබා තිබියදී හමු වූ අතර, එය ඝාතකයා පැමිණි යතුරුපැදිය බවට සැක කෙරේ. ගිනිගත් එම යතුරුපැදියේ චැසි අංකය හා එංජින් අංකය මකා දමා තිබී ඇත. යතුරුපැදියක ඉදිරිපස හා පිටුපස අංක තහඩු ද යතුරුපැදිය ගිනිගත් ස්ථානය අසල ඇති වතුර වළක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය එදිනම සොයාගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව මසක් ගතවූ දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සාමකාමී උද්ඝෝෂණයක්ද මාර්තු 28 වැනිදා පවත්වනු ලැබීය. එම උද්ඝෝෂණයත් සමඟ මෙම ඝාතන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව තමාට පවරමින් සමන් කොල්ලා පවසනු ලැබුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකුට වැඩක් දෙන්නට ඇතැයි කියා බවද ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩික්කරු පවසා ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේම නිවසක දකුණේ පොලිස් ස්ථානයක සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පදිංචිව සිටින බැවින් ඝාතන කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය එම නිලධාරියා වී දැයි සැකයක්ද මෙහිදී පැන නැඟී ඇත. උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ එම නිලධාරියා පොලිස් සේවයේ තවදුරටත් සිටින නිසාත් ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක් නිසාත් ඝාතන ඉලක්කය ඔහු නොවන බවය. වෙඩික්කරු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙක් යැයි කියා තමාට ලබාදුන් ඡායාරූපයේ සිටියේ තමා වෙඩි තැබූ පුද්ගලයා බවය. ඒ අනුව වෙඩික්කරුට ඉලක්කය වැරදී නොමැති බව පැහැදිලි බව උසස් පොලිස් නිලධාරියා කීය.
පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මෙම වෙඩික්කරු ගල්කිස්ස පොලීසියට හසුවී ඇත්තේ පසුගිය 22 වැනිදා අහඹු ලෙසිනි. ඒ හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් සමඟය. ඇහැලියගොඩ මුල් පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා වයස අවුරුදු 51ක් වන අයෙකි. පැපිලියාන සල්මල් මාවතේ මේ වන විට පදිංචිව සිටින ඔහුව හසුවී ඇත්තේ බඩෝවිට ප්‍රදේශයේදීය. පැපිලියානේ නිවස රුපියල් 40,000ක කුලියකට ඔහු පදිංචියට පැමිණ ඇත්තේ අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පෙර බවද අනාවරණය වී ඇත. එම නිවෙසේ ඔහු පදිංචිව සිය ඇත්තේ සිය බිරිඳ හා දියණිය හා පුතුන් දෙදෙනා සමඟිනි. ගිනිඅවිය සොයාගෙන ඇත්තේ එම නිවෙසේ තිබිය දී බවද පොලිසිය කියයි. එම අවිය මිලි මීටර් 09 වර්ගයේ එකක් බවත් එහි පතරොම් 10ක්ද තිබුණු බවත් සඳහන්ය.
ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු හෙළි කර ඇත්තේ තමා වෙඩි තැබුවේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුට නොව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට බව දැනගන්නේ රූපවාහිනියේ සහ පත්තරවල ප්‍රවෘත්තිවලින් බවය.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් 2019 වසරේදී පොලිසියට හසුවී ගාල්ල බන්ධනාගාරයේ සිටියදී දැන හඳුනාගත් අයෙක් මඟින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව තමාට ලැබුණු බවද ඔහු පවසා ඇත. ඊට අවශ්‍ය ගිනිඅවිය මෙන්ම පහසුකම්ද තමාට ඩුබායි සිටින අයගේ මෙහෙයැ වීම මත ලැබුණු බවද ඔහු අනාවරණය කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකයාගේ ඝාතනය සිදු කළේ දින 15ක් ඌරගස්මංහන්දියේ ගල්පොත්තාවෙල නිවෙසක රැදී සිට බවය. අවශ්‍ය හැම පහසුකමක්ම ඩුබායි සිට තමාට ඇමතුම් දුන් පුද්ගලයා ලබාදුන් බවද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත. එම නිවසේ ජීවත්ව සිට ඇත්තේ අඹුසැමි යුවළක් සහ එම යුවළගේ දරුවා බවද ඔහු පවසා තිබේ. එම දරුවා පිරිමි දරුවෙක් බවත් ඔහු තරුණයෙක් බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනයෙන් දින කිහිපයකට පසු එම තරුණයා ඩුබායි බලා පලාගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු මත අඹුසැමි යුවළද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කරන්දෙණිය සුද්දාගේ සහ සමන් කොල්ලාගේ සමීපතමයන් බව පෙනී ගොස් තිබේ.
පෙබරවාරි 26 වැනිදා උදෑසනම තමාට අඹුසැමි යුවළගේ පුතා යතුරුපැදියක් ගෙනවිත් දුන් බවත් තමා එහි නැඟී මඳ දුරක් ගමන් කරන විට අතරමඟදී පුද්ගලයෙක් හමුවූ බවත් එතැන් සිට යතුරුපැදිය පදවනු ලැබුවේ එම පුද්ගලයා බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත. එම පුද්ගලයා කවුරුන්දැයි තමා නොදන්නා බව ඔහු පවසා තිබේ. සියලු සම්බන්ධීකරණ කටයුතු ඩුබායි සිට දුරකතන ඇමතුමක් දෙමින් පවසා තිබේ. යතුරුපැදිකරු ඉලක්කයට යන මාර්ගය නිශ්චිත ලෙස නොදැන සිටි බවත් ඩුබායි සිට ගමන් කළ යුතු මාර්ගය දැක්වෙන වීඩියෝවක් තමාට වට්ස්ඇප් කර එවූ බවත් ඒ ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට ගොස් ඝාතනය සිදුකළ බවත් අත්අඩංගුවේ පසුවන අය පවසන බව පොලිසිය කියයි. මාර්ගය දැක්වෙන වීඩියෝවට අමතරව ඝාතනය කළ යුතු අයගේ ඡායාරූපයක්ද තමාට යොමු කළ බවත් තමා ඒ ඡායාරූපයේ සිටි පුද්ගලයාටම වෙඩි තැබූ බවත් ඔහු පවසා ඇත.
ඩුබායි සිට මෙම පුද්ගලයාට වට්ස්ඇප් පණිවුඩ ලබා දෙමින් ඔහුව මෙහෙයවීමට යොදාගත් දුරකතනය ද පොලිසිය සොයාගෙන තිබේ. මකා දමා ඇති එහි දත්ත මතුකර ගැනීමට එම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ භාර දී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමෙන් අනතුරුව අතරමඟින් යතුරුපැදියෙන් බැස ත්‍රිරෝද රථයකට ගොඩවී ප්‍රධාන මාර්ගයට ගොස් මාතර බලා යන බස් රථයකින් මාතරට ගිය බවද ඔහු පවසා ඇත. අනතුරුව වැල්ලවායට ගොස් එහි හේනක ඇති වාඩියක සැඟවී සිට නැවත පැමිණ ඇත්තේ පැපිලියානේ නිවස කුලියට ගැනීම සඳහාය. එතෙක් ඔහුගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිට ඇත්තේ කහතුඩුවේ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ. ඌරගස්මංහන්දියට ගොස් කළ විමර්ශනයේදී සැකකරුගෙන් ලද තොරතුරු මත කුඩා වන ළැහැබක සඟවා තිබී ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් 08 වර්ගයේ ගිනිඅවියක් ද අත්බෝම්බයක් ද සොයාගත් බව ද පොලිසිය කියයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඩුබායි සිට ඔහුව මෙහෙයවූ අය ගැන මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සැබෑ හේතුව පවා හෙළි කර ගැනීමට ඇති බවත් වෙඩි තැබුවේ සැබෑ ලෙසම මෙම පුද්ගලයාගෙන් සොයාගත් ගිනිඅවියෙන්මදැයි සැක හැර දැනගැනීමට රස පරීක්ෂක වාර්තා කැඳවිය යුතු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඝාතකයා අත්අඩංගුවට ගත්තත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනයට හේතුව තවමත් ඇත්තේ අබිරහසක් ලෙස බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
බස්නාහිර පළාත් දකුණු දිසා නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ , පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (67091), පියසිරි (34274), වීරසේකර (25426), දක්ෂණ (105087), සලේ (104776) සහ පොලිස් කොස්තාපල් රියැදුරු රංගන (89863) යන නිලධාරින් විමර්ශන පවත්වා තිබේ.